05/07/2023
🥥පොල් තෙල් ඇත්තටම අහිතකරද?
අපේ රටේ සංස්කතිය සිංහලයාගේ සංස්කෘතිය හා පොල් තෙල්වල ඇත්තේ අපූරු බැඳීමක්. අතිතයේ සිට ආහාර රසවත් කිරීමට අප යොදා ගත්තේ පොල් තෙල්. ආගමික කටයුතු සඳහා මෙන්ම හිස ගැල්වීම සඳහා ද අප බොහෝ දෙනෙක් යොදා ගන්නේ පොල් තෙල්.
උත්සව අවස්ථාවලදී කෑම පිසීමට, රසකැවිලි සෑදීමට ආදියට පොල් තෙල් නැතිවම බැරි දෙයක්. බැදුමකින් හරි තෙම්පරාදුවකින් හරි කරන ලද වෑංජනයකින් කෑම වේලක් රසවත් වෙනවා විතරක් නෙවෙයි කෑම ගැනීමේ ප්‍රියතාවයකුත් ඇති වෙනවා. අනෙක් තෙල් වගේ නෙමෙයි පොල් තෙල්වලට රෝම කූප හරහා ගමන් කිරිමේ හැකියාව ඇති නිසා දේශීය වෛද්‍ය ක්‍රමයේ සැකසෙන ඖෂධීය තෙල් එක්ක පොල් තෙල් මිශ්‍රණය කරනවා. කුබීයන් කඩියන් මදුරැවන් මි මැස්සන් කැවම ගන්නේ පොල්තෙල්ය.
පොල් ගසක සමාන්‍යයෙන් වසරකට ගෙඩි 75ක් විතර වගේ හැදෙනවා. සාමාන්‍යයෙන් පොල් ගසක් අඩි 20ක සිට අඩි 60 දක්වා උසට තමයි හැදෙන්නේ. සමහර පොල් ගස් අඩි 98ක් පමණ උසට හැදෙනවා. පොල් වතුරවලට වඩා වැඩි ප්‍රමාණයක් මේදය හා අඩු ප්‍රමාණයක් සීනි, පොල් තෙල්වල අඩංගු වි ඇත. වස්කෝද ගාමා ඇතුළු නාවිකයන් විසින්, පොල් ගස ඉංග්‍රීසියෙන් හඳුන්ව'coconut' යන නාමය නිර්මාණය වී ඇත. ලොව රටවල් අතරින් ප්‍රධානම පොල් නිෂ්පාදකයන් ලෙස පිලිපීනය ඉන්දුනීසියාව හා ඉන්දියාව පත්වේ.
පොල්තෙල් වර්ග කරලා තියෙන්නේ එවා නිපදවන ආකාරය අනුවයි. අතිතයේ ඉදන්ම ක්‍රම කිහිපයකට තෙල් හදලා තියෙනවා එවා මොනාද බලමු.
1. අත් තෙල්
මේ තෙල් හදන්නේ ගොඩාක් වෙලාවට ගෙවල් වල. පොල් ගාලා එකෙන් පොල් කිරි අරගෙන ඒ පොල් කිරි ලිපේ තියලා රත් කරනවා. එවිට කිරි තට්ටුව මිදීලා තෙල් තට්ටටුව වෙනම ඉවත් වෙනවා. මේ විදිහට වෙන්වෙන තෙල් තට්ටුව පිරිසිදු රෙද්දෙන් පෙරා බෝතල්වලට දාගන්නවා. මේ විදිහට හදාගන්නා තෙල් ආහාර පිසීම වැනි කටයුතු සඳහා ඉතා සුදුසු වුණත් ගොඩාක් ම මේ තෙල් වලින් කරන්නේ කොණ්ඩයේ ගාන එකයි.
2. සෙක්කු තෙල්
අතීතයේ ගැමි නිවෙස්වල සෙක්කුව නම් උපකරණයක් තිබුණා. වංගෙඩියක් සේ හැඩයක් ඇති, වංගෙඩියක් සේම මැදින් හරා ඇති ගලක් සහිත මෙම උපකරණය ක්‍රියාත්මක වූයේ එහි බඳින ලද ගොනෙකුගේ ආධාරයෙන්. පොල් මද කපා අව්වේ වියළා සකස් කරගත් කොප්පරා මෙම උපකරණයට දැමීමේදී කොප්පරා ඇඹරී එයින් පොල් තෙල් නිපදවෙනවා. බොහෝ විට මෙම කොප්පරා සකස් කෙරුනේ නිවෙස් මට්ටමින්. එසේ සකස් කරගන්නා කොප්පරා සෙක්කුව ඇති නිවෙසට ගෙන ගොස් තෙල් සිඳ ගැනීම අතීතයේ ඉතා ජනප්‍රිය ක්‍රමයක් බවට පත්ව තිබුණා.
3. මොල් වලින් සකස් කරන තෙල්
මෝල්වලින් එකවර අධික තෙල් ප්‍රමාණයක් සකස් කරගත හැකි නිසා කොප්පරා මහා පරිමාණයෙන් සකස් කෙරුණා. සෙක්කුවලට වඩා හොඳින් කොප්පරා ඇඹරීම සිදුවන නිසා වැඩි තෙල් ප්‍රමාණයක් මෙහිදී ලබාගැනීමේ හැකියාව තිබෙනවා. අනෙක වරක් කොප්පරා ඇඹරීමෙන් පසු ඉතිරිවන පුන්නක්කු තවත් දෙවරක් අඹරා තෙල් ලබාගැනීම ද සිදු වෙනවා.
පොල් තෙල් වල තවත් වර්ගීකරණයක් බලමු.
1. පිරිසිදු පොල් තෙල් (pure coconut oil) මෙය සාමාන්‍යයෙන් කොප්පරාවලින් සකස් කරගන්නා ලද පොල් තෙල්. පිරිපහදු කිරීමක් සිදුවන්නේ නැහැ. වැඩි දෙනෙක් භාවිත කරන්නේ මේවායි.
2. පිරිපහදු කරන ලද පොල් තෙල් (refined coconut oil)
සාමාන්‍ය කොප්පරාවලින් ලබාගන්නා පොල් තෙල් වඩාත් ඉහළ තත්වයන් යටතේ, රසායනික ක්‍රම මගින් පිරිපහදු කොට, සුවඳවත් කරන ලද තෙල් මේ නමින් හැඳින්වෙනවා. මෙහි තෙල්වලට අමතරව වෙනත් කිසිදු ක්ෂුද්‍ර කොප්පරා කොටස් කිසිවක් දකින්නට ලැබෙන්නේ නැහැ. වෙළෙඳ පළේ, සුපිරි වෙළෙඳ සල්වල පිරිසිදු පොල් තෙල් යනුවෙන් අළෙවියට ඇත්තේ බොහෝ විට මේවායි.
3. ඓන්ද්‍රීය පොල් තෙල් (organic coconut oil)
ස්වභාවික පොහොර පමණක් යොදා වගාකරන ලද පොල් ගස්වලින් ලබාගන්නා පොල් ගෙඩි යොදා නිපදවනු ලබන තෙල් මේ නමින් හැඳින්වෙනවා. මෙයද ලෝකයේ ඉහළ පිළිගැනීමකට ලක් වූ පොල් තෙල් වර්ගයක්
4. නැවුම් පොල් තෙල් (virgin coconut oil) මෙම ක්‍රමය මුළින්ම සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ අප රටේ, ලුණුවිල පිහිටා ඇති පොල් පර්යේෂණායතනයටයි. පොල්තෙල්වලට ආවේණික පෝෂණ ගුණය කිසිවක් විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් නැති බව ද තහවුරු කොට තිබෙනවා. පොල් මදයේ ඇති ස්වභාවික තෙල්, ගුණ හානි කරගැනීමකින් තොරව ලබාගැනීම මෙහිදී සිදු වෙනවා. මෙහිදී කොප්පරා භාවිතයක් නැහැ. නැවුම් පොල් තෙල් සඳහා යොදා ගන්නේ හොඳින් පැසුණු පොල් පමණයි. මේවා කඩා සති තුනක් පමණ ගබඩා කොට තබනවා. ඉන් පසු ලෙලි ගසා කටු ගළවා ගන්නා පොල් මද කොටසේ කුරුට්ට ඉවත් කෙරෙනවා. මෙහි පොල් වතුර ඉවත් කොට සිසිල් ජලයෙන් සෝදනවා. මේවා සේදීම සඳහා යොදාගන්නේ ක්ලෝරීන් හෝ වෙනත් කිසිදු රසායනික ද්‍රව්‍ය මිශ්‍ර නොමැති ජලයයි. ඒ වගේම මේවා නැවුම් පොල් තෙල් බැවින් කිසිදු රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කෙරෙන්නේ ද නැහැ. ඒ වගේම මෙහි ඇති කිසිදු දෙයක් ඉවත් කෙරෙන්නේ ද නැහැ.
5. ඓන්ද්‍රීය නැවුම් පොල් තෙල් (organic virgin coconut oil). ස්වභාවික පොහොර පමණක් යොදා වගාකරන ලද පොල් ගස්වලින් ලබාගන්නා පොල් ගෙඩි මගින් නිපදවනු ලබන නැවුම් පොල් තෙල් මේ නමින් හැඳින්වෙනවා.
6. අතිරේක නැවුම් පොල් තෙල් (extra virgin coconut oil) නැවුම් පොත් තෙල් තවත් පිරිසිදු කරමින් තනන පොල් තෙල් මේ නමින් හැඳින් වේ.
පොල් තෙල් ගුණත්වයෙන් අඩු යැයි මත පළවීම
* කොප්පරා මාසයක් පමණ වියළා ගත යුතු වුණත් ඔවුන් සතියක් හෝ දෙකක් පමණක් වියළා සකස් කරගත් කොප්පරාවලින් තෙල් සිඳින්නට පටන් ගැනිම .
* හොඳින් පැසුණු පොල් පමණක් නොව කළටි තත්වයේ හා ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවා පැවති පොල්වලින් කොප්පරා සැකසීම නිසා නිපදවෙන පොල් තෙල්වල ගුණත්වය අඩුවන්නට පටන් ගැනුණා.
* හොඳින් වියළීමක් සිදුනොවුණු නිසා මෙහි සෑහෙන ජල සාන්ද්‍රණයක් ද ඉතිරි වුණා. එහි ප්‍රතිඵලය වූයේ පොල් තෙල් ඉක්මණින් මුඩු බවට පත් වීමයි.
* නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකර ඉක්මණින් අළෙවි කරගැනීමේ අරමුණින් මේවා නිපදවීම නිසා මේවායෙන් සකස් කරගන්නා ආහාර මගින් යම් යම් ලෙඩ රෝග වැළඳෙන්නටත් පටන් ගත්තා.
මේ කරැනු මත මිස ඉතා හොඳින්, ක්‍රමවත්ව සකස් කෙරුණු පොල් තෙල් පරිභෝජනයෙන් මෙවැනි කිසිදු අහිතකර තත්වයක් ඇති වූයේ නැහැ. ඇති වන්නේ ද නැහැ. ගැටලුව වූයේ වැඩි වශයෙන් නිපදවන බාල වර්ගයේ පොල් තෙල් අඩු මිලට අළෙවි කිරීම නිසා හොඳින් නිපදවන පොල් තෙල්වලට හොඳ වෙළෙඳ පළක් සොයා ගැනීම දුෂ්කර වීමයි.
පාම් තෙල්
අක්‍රමවත් පොල් තෙල් නිෂ්පාදනය අවස්ථාවක් කරගනිමින් අප රටට හඳුන්වාදුන් ප්‍රධාන තෙල් වර්ගයක් ලෙස පාම් තෙල් (Palm Oil) හෙවත් 'කටු පොල්තෙල්' සඳහන් කළ හැකියි. මෙය හඳුන්වා දුන්නේ පොල් තෙල්වලට වඩා මිල අඩු, ඒ වගේම පොල් තෙල්වලට සෑම අතින්ම සමාන තෙල් වර්ගයක් ලෙසිනුයි. මුල් සමයේ අපේ රටේ පාම් ගස් වගාවක් තිබුණේ නැහැ. ඒ නිසා මුළින්ම මේවා ආවේ ඉන්දුනීසියාව මැලේසියාව වැනි රටවලින්. පොල් ගසත් පොම් ගසත් තාල වර්ලයට අයත් ශාක වුණත් මේ ශාක දෙකෙන් ලබාගන්නා තෙල්වල රසායනික සංයුතිය වෙනස්. පොල් තෙල් නිෂ්පාදනය කරන්නේ පොල් ගෙඩියේ මදයෙන් වුණත්, පාම් තෙල් බහුල වශයෙන් ලබාගන්නේ පාම් ගෙඩියේ පොත්තෙන්. එය වඩාත් පැහැදිලි කරනවා නම් පොල් ලෙල්ලෙන් තෙල් ලබාගන්නවා වැනි දෙයක්. පොල් ලෙල්ලේ තෙල් අඩංගු නොවුණත් පාම් ගෙඩියේ ලෙල්ලේ තෙල් අඩංගු වෙනවා.
පාම් මද තෙල් (Palm Kernal Oil)හැදින්වෙන පාම් මදයෙන් ලබා ගන්නා තෙල් හා පොල් තෙල් ගුණත්වයෙන් අතිශයින් සමානකම්වලින් යුකත්යි. නමුත් පාම් මදයෙන් නිෂ්පාදනය කරන තෙල් අධික මිලෙන් යුක්ත වෙනවා. නමුත් වෙළෙඳ පළේ අළෙවියට ඇත්තේ පාම් ගෙඩියේ ලෙල්ලෙන් ලබා ගන්නා තෙල් පමණයි. ශරීරයට හිතකර යැයි බටහිර රටවල් විසින් පවසන එළවළු තෙල් යැයි පැවසෙන තෙල්වල අඩංගු නොවන ලෝරික් අම්ලය ඇත්තේ පොල් තෙල්වල හා පාම් තෙල්වල පමණයි. පාම් ලෙල්ලෙන් හදන පාම් තෙල්වල ඇති ලෝරික් අම්ලය 0.2%ක් පමණයි. පොල් තෙල්වල මෙය 48.9%ක් පවතිනවා.
පොල් තෙල්වලට වැඩි වටිනාකමක් ලැබී ඇත්තේ ද මේ ලෝරික් අම්ලය නිසයි. එසේ වී ඇත්තේ මව්කිරිවලද වැඩි වශයෙන්ම ලෝරික් අම්ලය අඩංගු නිසයි. ආහාර පිණිස දැනට ලෝකයේ නිෂ්පාදනය කොට ඇති තෙල් වර්ගලවලින් ලෝරික් අම්ලය අඩංගු වන්නේ පොල් තෙල් වල හා පාම් මදයෙන් ලබා ගන්නා තෙල්වල පමණයි. නමුත් පාම් ගෙඩි මදයෙන් ලබාගන්නා පොල් තෙල් අධික මිලකින් යුක්ත වන නිසා කිරි දෙන මවකට සිය කිරිවල ඇති ලෝරික් අම්ලය වැඩි කරගැනීමට නම් පහසුවෙන්ම ශරීරයට එක් කරගත යුත්තේ පොල් තෙල් සහ පොල්වලින් නිපදවනු ලබන අනෙකුත් ආහාර වර්ගයි. පොල් තෙල් වල ලෝරික් අම්ලය 48.9%ක් අඩංගුයි. නමුත් පාම් මදයෙන් ලබා ගන්නා තෙල් හැරුණු විට වෙළෙඳ පළේ එළවළු තෙල් යැයි ප්‍රකට කිසිදු තෙල් වර්ගයක් ලෝරික් අම්ලය අඩංගු වන්නේ නැහැ. American Journal of Clinical Nutrition නම් වෛද්‍ය ජර්නලයේ ද සඳහන් වූයේ මෙය චිකිත්සකව තහවුරු කොට ඇති දෙයක් බවයි. මේද අම්ලයක් වන ලෝරික් අම්ලය මව් කිරිවල වැඩි වශයෙන් අඩංගු වීමෙන් ලැබෙන ප්‍රතිඵල බොහොමයි. බිළිඳාගේ ප්‍රතිශක්තිය වර්ධණය, දරුවාගේ ආහාර ජීර්ණය වර්ධණය, බිළිඳාගේ සමෙහි රෝග මර්දනය, ආදිය මේ වාසි අතර විශේෂයෙන් කැපී පෙනෙනවා. මව් කිරිවලට සමාන කිරි වර්ගයක් මෙතෙක් නිපදවන්නට හැකියාවක් ලැබී නැහැත නමුත් දැනට කෙරීගෙන යන ඇතැම් පර්යේෂණවලින් කිව හැක්කේ පොල්තෙල්වල අඩංගු ලෝරික් අම්ලය යම් ප්‍රතිශතයකින් එළකිරිවලට මිශ්‍ර කිරීමෙන් මව්කිරිවලට වඩාත් සමාන කමක් ඇති කිරි වර්ගයක් නිපදවා ගත හැකි බවයි. නමුත් තවමත් මෙය පවතින්නේ පර්යේෂණ මට්ටමේ යි.
පොල් තෙල්වලට වඩා පාම් තෙල් සෞඛ්‍ය සම්පන්න බවින් අඩු බව විවිධ පර්යේෂණ මගින් ඔප්පු වී තිබෙනවා. එයට හේතුව පාම් තෙල් මගින් යමක් බැදීමේදී සිදුවන ඔක්සිකරණ ක්‍රියාවලිය අහිතකර බව පැවසෙන නිසයි. පොල් තෙල් එවැනි අහිතකර ක්‍රියාවකට ලක්වන්නේ නැහැ.
ගෘහනියන් අතර පාම් තෙල් හෝ පාම් තෙල් මිශ්‍ර තෙල් හඳුනාගැනීමට ක්‍රමයක් ප්‍රචලිත වී තිබෙනවා. පාම් තෙල් හෝ ඒවා මිශ්‍ර තෙල්වලින් යමක් බදිනවා නම් පෙණ මතුවීම මෙම ලක්ෂණයයි නමුත් පොල් තෙල්වලින් මෙසේ පෙණ නගින්නේ නැහැ. හොඳ පොල් තෙල්වලින් කට්ලට්, රෝල් වැනි දෙයක් බැදීමේදී එයින් හොඳ පැහැයක්, සුවඳක් සහ රසයක් දැනෙනවා. පාම් තෙල් වල එවැනි ගුණාංගයක් නැත.
කෑමවල තෙල් සාන්ද්‍රණය
හොඳ පොල් තෙල්වලින් යමක් බැද ගත්තොත් එහි තෙල් රැඳෙන ගතිය බොහෝ දුරට අඩුයි. සාමාන්‍යයෙන් වෙළෙඳ පළේ අළෙවියට ඇති කට්ල්ට්, රෝල් වැනි කෑම වර්ගයක් අතට ගත් විට එහි අධික තෙල් ප්‍රමාණයක් තිබෙන බව බැලූ බැල්මටම පෙනෙනවා. බොහෝ විට මෙවැනි අවස්ථාවක අප බොහෝ දෙනෙක් සිදු කරන්නේ කඩදාසියක් ගෙන එම තෙල් පොඟවා ඉවත්කිරීමයි. මෙයට එක් හේතුවක් වන්නේ පාම් තෙල් මිශ්‍ර තෙල් භාවිතයෙන් මේවා බැද තිබීමයි. මේවා තැනීමට යොදා ගන්නා අමු ද්‍රව්‍යවල ඇති අඩුපාඩු නිසාද මෙසේ තෙල් සංයුතියක් ඉතිරිවීම සිදුවිය හැකි වුණත් පාම් තෙල් මිශ්‍ර තෙල් නිසා මෙම තත්වය අධිකව සිදු වෙනවා. නමුත් හොඳ පොල් තෙල්වල මෙවැනි දෙයක් දක්නට නැහැ
එළවළු තෙල්
පොල් තෙල්වලට එරෙහි ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස එළවළු තෙල් වෙළෙඳ පළට හඳුන්වා දෙනු ලැබුවා. එළවළු තෙල් කියා හැඳින්වුවත්, සැබවින්ම මේවායේ නියම නම විය යුත්තේ ‛ශාක තෙල්’ කියායි. හේතුව අද වෙළෙඳ පළේ එළවළු තෙල් ලෙස අළෙවියට තබා ඇති තෙල් වර්ග වන සෝයා, සූරියකාන්ත, රටකජු, කෝර්න්, කැනෝලා, ඔලිව් ආදී සියලු දේ නිපදවා ඇත්තේ ශාක කොටස්වලින් වීමයි. එසේ බලන විට පොල් තෙල් ද ශාක තෙල් වර්ගයක්. මේ නිසා මේ එළවළු තෙල් යන නමකින් මේවා හඳුන්වා දී ඇත්තේ පාරිභෝගිකයන් නොමග යැවීමට බව සඳහන් කළ යුතුයි. පොල් තෙල් ඇතුළු මේ සියල්ල ශාක තෙල් පමණයි.
බටහිර රටවල බහුල වශයෙන් පරිභෝජනය කෙරෙන්නේ බහු අසංතෘප්ත තෙල්. නමුත් ඔවුන් අප රටේ මෙන් ආහාර දැඩි ලෙස ආහාර පිසින්නේ නැහැ. ඔවුන් අඩු උෂ්ණත්වයක් යටතේ ආහාර පිසගැනීමට පුරුදුව සිටිනවා. නමුත් අප සාමාන්‍යයෙන් ආහාර දැඩි උෂ්ණත්වය යටතේ වැඩි වේලාවක් පිසගැනීමට හුරුපුරුදුව සිටින අතර එවැනි තත්වයකදී පාම් තෙල් සහ කවුරුත් එළවළු යැයි හඳුන්වන බහු අසංතෘප්ත තෙල් අස්ථාවර භාවයකට ලක් වෙනවා. එමෙන්ම පාම් තෙල් සහ එළවළු තෙල් වර්ගවලින් එහිදී පෙරොක්සයිඩ් නිපදවී ඒවා ආහාරයට එක්වීම සිදුවෙනවා. එය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර තත්වයක් නොවෙයි. අප වැඩි දෙනෙක් වඩේ, රෝල්ස් වැනි ඇතැම් ආහාර වර්ග ගැඹුරු තෙල් බැද ගන්නට හුරු පුරුදුව සිටිනවා. ඒ වගේම ආහාර තෙම්පරාදු කිරීමේදී තරමක් වැඩි කාලයක් මේ සඳහා ගත්කරන්නට අපගේ ඇතැම් ගෘහනියන් පුරුදුව සිටිනවා. අනෙකුත් තෙල් වර්ග අධික ලෙස රත්වීමේදී ඒවායේ ප්‍රති ඔක්සිකාරක විනාශ වී යන නමුත් පොල්තෙල් අධික ලෙස රත් කළ ද මෙම ප්‍රති ඔක්සිකාරකවලට හානියක් සිදු නොවන බව ද දැනට සිදුවී ඇති පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා. මේ නිසා ආහාර පිස ගැනීමේ පුරුදු පැත්තෙන් සළකා බැලුවත් අපට වඩාත් සුදුසු වන්නේ පොල් තෙල් බව කිව හැකියි.
කොලෙස්ටරොල් සහ පොල් තෙල්
පාරිභෝගිකයන් පොල් තෙල් අතහැර වෙනත් තෙල්වලට යොමු වන්නට ප්‍රධාන හේතුව පොල්තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ බහුල වශයෙන් ප්‍රචාරණය වීම නිසයි. හෘද රෝග ආදියට බොහෝ දෙනෙක් ගොදුරුව සිටීමත්, මේ සඳහා කොලෙස්ටරෝල් හේතුවීමත් නිසා බොහෝ දෙනෙකුගේ සිත් තුළ පොල් තෙල් පිළිබඳ අනියත බියක් හට ගැනුණා. එළවළු තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු නැති බවට (Cholesterol Free) ප්‍රචාරය වීමත් සමග වැඩි දෙනෙක් ඉතා කැමැත්තෙන් එළවළු තෙල් භාවිතයට හුරුවන්නට පෙළඹුණා.
කොලෙස්ටරෝල් කියන සංඝටකය ශරීරයට යම්කිසි මට්ටමකින් අවශ්‍ය දෙයක්. කොලෙස්ටරෝල් අපට කිසිදු ආහාරයක් ඔස්සේ ලැබෙන දෙයක් නොවෙයි. කිසිම ආහාරය කොලෙස්ටරෝල් අඩංගු වන්නේ නැහැ. එළවළු තෙල්වල ‛කොලෙස්ටරෝල් අඩංගු නැත. වගේම කිසිම පොල් තෙල් වර්ගයක හෝ කොලෙස්ටරෝල් අඩංගු වන්නේ ද නැහැ.
කොලෙස්ටරෝල් වර්ග දෙකක් පවතිනවා
1. අඩු ඝනත්ව ලිපිඩ කොලෙස්ටරෝල් (LDL Cholesterol) අඩු ඝනත්ව ලිපිඩ කොලෙස්ටරෝල් ‛නරක කොලෙස්ටරෝල් ’ (Bad Cholesterol) කියා ද හඳුන්වනවා. එයට හේතුව එමගින් සිරුරේ කොලෙස්ටරෝල් නිපදවීමත් එසේ නිපදවන කොලෙසටරෝල් රුධිරය සමග මිශ්‍ර වීමත් නිසයි. එම කොලෙස්ටරෝල් අපගේ රුධිර නාලවල තැන්පත් වීම නිසා හෘද රෝග ඇති කරනවා.
2. වැඩි ඝනත්ව ලිපිඩ කොලෙස්ටරෝල් (HDL Cholesterol) වැඩි ඝනත්ව ලිපිඩ කොලෙස්ටරෝල් ‛යහපත් කොලෙස්ටරොල්’ (Good Cholesterol) යනුවෙන් ද හඳුන්වනු ලබනවා. මෙය මගින් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් අවශෝෂණය කොට එය නැවත අක්මාව කරා රැගෙන යාම සිදු කරනවා. මෙම කොලෙස්ටරෝල් නිසා හෘද රෝග සහ ආඝාත තත්වයන් අඩුවන බවයි පැවසෙන්නේ.
කොලෙස්ටරෝල් වාර්තාවේ අඩු ඝනත්ව කොලෙස්ටරෝල් වැඩි බව දැක්වෙනවා නම් එයනි කියැවෙනනේ අපගේ රුධිරගත කොලෙස්ටරා්ල් ප්‍රමාණය වැඩි බවයි. කොලෙස්ටරෝල් සිරුරේ වර්ධණය වන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ අප සිරුරට ලබාගන්නා මේදය හෙවත් තෙල්. මේ තෙල්වල කොටස් දෙකක් තිබෙනවා.
1. සංතෘප්ත මේද අම්ල
2. අසංතාප්ත මේද අම්ල
පොල්තෙල් වල අඩුංගු යැයි සැළකෙන්නේ සංතෘප්ත මේද අම්ලයයි. එය 92%ක් පමණ තිබෙනවා. ඒවගේම ඒවා ‛කෙටි දාම මේද අම්ල’ ලෙසින් හඳුන්වනවා. ඕනෑම ද්‍රව්‍යයක් සෑදී ඇත්තේ විවිධ මූලද්‍රව්‍යවලින්. ඒවා රසායනිකව එකිනෙක බැඳී තිබෙනවා. මෙසේ රසායනික්ව බැඳුණු ඇතැම් ඒවා දිගයි. ඇතැම් ඒවා කෙටියි. ආහාරයක් නම් දිග දාම අම්ලවලට වඩා කෙටි දාම අම්ල ජීර්ණයට පහසුයි. එය උදාහරණයක් ලෙස සඳහන් කළොත් අප ආහාරයක් හොඳින් විකා කෑමට ගත් විට එය පහසුවෙන් ජීර්ණය වෙනවා. එයට හේතුව ඒ ආහාරය කුඩා කොටස්වලට කැඩෙන නිසා. නමුත් විකීමකින් තොරව ආහාරයට ගත්තොත් ජීර්ණය වන්නට ප්‍රමාද වෙනවා. කෙටි දාම අම්ල ද මේ ආකාරයෙන් කුඩා නිසා ඉක්මණින් ජීර්ණය වෙනවා. ජීර්ණය වන ආහාර ශක්තිය ලෙස ශරීරයේ තැන්පත් වෙනවා. දිග දාම අම්ල ඇතැම් විට ජීර්ණය නොවන්නටත් ඉඩ තිබෙනවා. මේවා ජීර්ණය නොවුණොත් ඒව රුධිරයට එකතු විය හැකියි. පොල් තෙල්වල කෙටි දාම අම්ල පවතින නිසා ඒවා අපේ ආහාරය සමග ලබා ගත් විට පහසුවෙන් ජීර්ණය වෙනවා. ජීර්ණය වීමෙන් පසු තැන්පත්වීමට තියෙන හැකියාව බොහෝ අඩු වෙනවා. එවිට කොලෙස්ටරෝල් වැනි දෙයක් වර්ධණය වන්නට ඇති හැකියාව ද අඩු වෙනවා. මේ නිසා සංතෘප්ත මේද අම්ල නිසා කොලෙස්ටරෝල් වර්ධණය වන බව සාමාන්‍යයෙන් පිළිගැනුනත්, පොල් තෙල්වල කෙටි දාම අම්ල පවතින නිසා කොලෙස්ටරෝල් වර්ධණයට එරෙහි ක්‍රියාවලියක් සිදුවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී.