06/02/2023
දියවැඩියා රෝගීන් ගේ ස්නායුගත ආබාධ සඳහා
+++++++++++++++
ආයුර්වේද ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල
==================
දියවැඩියාව යනු ලෝකයේ බොහෝ මිනිසුන් දිගුකාලීනව රෝගීන් බවට පත් කරන තවත් එක් රෝගයකි. එය පුද්ගලයින් එකවර මරණයට පත් කරන රෝගයකට වඩා වෙනත් සංකූලතා නිසා රෝගියාගේ ජීවිතය බොහෝ සෙයින් දුෂ්කරතා වලට ගොදුරු කරන රෝගයක් වේ. දියවැඩියාව නොසලකා හැරීමෙන් හා නිසි ප්‍රතිකාර නොලැබීමෙන් චිරකාලීනව වෙනත් බොහෝ රෝග වලට හේතුවේ. ඒ අතර හෘදරෝග, රුධිර පීඩනය වැඩිවීම, ස්‌නායු දුබලතා, ඇල්ෂයිමර්ගේ රෝගය (මතක ශක්තිය හීන වීම), ඇස් පෙනීමේ දුර්වලතා, කන් ඇසීමේ දුර්වලතා, වකුගඩු ආබාධ, අත්පා හිරිය, ශරීරයේ කල් පවතින තුවාලවල, මදසරු භාවය ආදිය විශේෂයෙන් සඳහන් කළ හැකිය. රුධිරයේ සීනි මට්ටම පාලනය කළත් මෙම රෝග තත්වයන් සුව කරගැනීමට අවධානයෙන් හා සැලකිල්ලෙන් යුක්තව වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කළ යුතුය. මෙම රෝග තත්වයන් කල් තබා හඳුනා ගැනීමෙන් රෝගියා ගේ ජීවිතය පහසු කරවන ආකාරයෙන් එම තත්වයන් පාලනය කළ හැකිය.
මෙම ලිපිය තුළින් විශේෂයෙන් ම සාකච්ඡා කරනුයේ දියවැඩියා රෝගීන්ට ඇතිවන ස්නායු දුබලතාව හෙවත් neuropathy තත්වයන් පාලනය කිරීමේ ලා ආයුර්වේද ප්‍රතිකර්ම යොදාගන්නා ආකාරය සම්බන්ධයෙනි. දියවැඩියා රෝගීන් හට ඇති වන ස්නායු ආබාධ ප්‍රධාන ප්‍රභේද හතරක් තිබේ. මෙහි පළමු වර්ගය වන පර්යන්ත සමමිතික ස්නායු ආබාධ (peripheral symmetric neuropathy) වලදී කෙළවර ස්නායු වලට හානි වීමෙන් එය අත් සහ කකුල් හිරි වැටීම ලක්ෂණය කොට ඇති වෙයි. එසේම බොහෝ රෝගීන් අතර බහුලව දක්නට ලැබෙන තත්වය ද මෙය වේ. දෙවැනි වර්ගය වන ස්වතන්ත්‍ර ස්නායු ආබාධ (autonomic neuropathy) වලින් සිරුරේ ආහාර ජීර්ණය, මුත්‍රා පිට කිරීම, හෘද ස්පන්දනය වැනි ක්‍රියාවන් කෙරෙහි බලපාන ස්නායු වලට හානි සිදුවේ. තුන්වැනි වර්ගය වන්නේ උරස් හා කටී ප්‍රදේශ වල ස්නායු මූල හරහා බලපාන අවිදුර ස්නායු ආබාධ (proximal neuropathy) ලෙසය. තුන්වැනි වර්ගය තනි තනි ස්නායු හානි වීමෙන් ඒවායේ ක්‍රියාවට බලපාන කේවල ස්නායු ආබාධ (mononeuropathies) ලෙස හඳුන්වයි.
මුලින්සඳහන් කළ පර්යන්ත ස්නායු ආබාධයේ දී හිරිවැටීම, වේදනාව, පුපුරුගැසීම, දැවිල්ල වැනි ලක්ෂණ අත්වල හෝ පාදවල ඇඟිලි වලින් පටන් ගෙන ඉහළට ගමන් කරනු දැකිය හැකිවේ. එසේම අතපය වල මාංශ පේශි වල තානය නැති වීම ද ඒවාට සීතල උණුසුම හෝ වෙනත් තුවාල වීමක් නොදැනීම ද ඇතිවේ. මෙම හේතුව නිසා රෝගියාට සමබරතාව නැතිවී ඇදවැටීම ද ඉඩ තිබේ. මේ තත්වය වැඩි දියුණු වීමෙන් Charcot’s joint නමැති ආබාධය ඇති වුවහොත් බර දරන සන්ධි දිරායාම නිසා ඒවා බිඳී යාමට ඉඩ තිබේ.
විශේෂයෙන්ම මෙම ස්නායු ආබාධය සහිත රෝගීන් හට කෙළින් හිට ගැනීමේ හා ඇවිදීමේ අපහසුතා ඇතිවීම බහුලව සිදුවේ. එසේම මෙහි තවත් සංකූලතාවක් ලෙස සංවේදන අඩු වීමෙන් තුවාල වීම මෙන්ම ඒවා පැසවීම හෝ සුවවීමට කල්ගතවීම හෝ කුණුවීම (gangrene) නිසා අත්පා වල කොටස් ඉවත් කිරීමට පවා සිදුවේ. එම නිසා මෙවැනි රෝග ලක්ෂණ නොසලකා හැරීමත් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමත් නිසා රෝගීන් අකාලයේ ආබාධිත තත්වයට පත්වේ.
ස්වතන්ත්‍ර ස්නායු ආබාධ වල දී බඩපපුව දැවිල්ල, ඔක්කාරය, මළබද්ධය හෝ අතීසාරය, කථාව අපහසු වීම, ගිලීමේ දුර්වලතා, කුඩා ප්‍රමාණයක් ආහාර ගැනීමෙන් පසු කුසපිරී ඇති බව හැඟීම, ආහාර ගෙනපැය කිහිපයකින් වමනය, හිටගෙන සිටින විට කැරකිල්ල හෝ කලාන්තය, හිටගෙන සිටියදී රුධිර පීඩනය පහළ යාම, වමනය, හෘද ස්පන්දනය වැඩිබව, සිසිල් පරිසරයක පවා අධික දහදිය දැමීම, මුත්‍රා කළ පසු මුත්‍රාශය හිස් නොවූ බව දැනීම, ;ලිංගික බෙලහීනතාව, විකෘති ස්පර්ශ දැනීම (dysesthesia), ඇසිපිය හා මුහුණේ පේශි එල්ලා වැටීම, පේශි සංකෝචනය හා දුර්වලතාව වැනි ලක්ෂණ ඇති විය හැකිය. අවිදුර ස්නායු ආබාධ වලදී සිරුරේ පහළ කොටසේ වේදනාව, බොහෝ විට කකුල් ආශ්‍රිත වේදනාව රෝගීන් අත්දකින ලක්ෂණයකි. එසේම කේන්ද්‍රීය ස්නායු ආබාධ හා කපාල ස්නායු ආබාධ වලදී ඇස් පෙනීම දුර්වල වීමත් බොහෝ සෙයින් ද්විත්ව දර්ශනය (double vision) ඇතිවීම ද සිදුවේ. මෙවැනි අවස්ථාවක අක්ෂි රෝගයට වඩා ස්නායු ආබාධය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
බොහෝ දියවැඩියා රෝගීන් මෙම ස්නායු ආබාධ තත්වයන් හඳුනාගන්නේ රෝග ලක්ෂණ උග්‍ර වූ පසු ප්‍රමාද වී නිසා රෝගියාට සිදුවන හානිය ද බරපතල වේ. එහෙත් කල් තබා රෝගය හඳුනාගැනීම හා නිසි ප්‍රතිකාර වලට යොමුවීමෙන් ඉතා සාර්ථකව රෝග ලක්ෂණ පාලනය කොට රෝගියා ගේ ජීවන ගුණාත්මය වැඩි දියුණු කිරීමට ආයුර්වේද ප්‍රතිකාර වලට හැකියාවක් තිබේ. මෙහිදී රෝගියාගේ සිරුර තුළට අභ්‍යන්තර ඖෂධ ලබා දීමෙන් ස්නායූ පටක යම් ආකාරයකින් පිළිසකර කිරීමත් බාහිර ප්‍රතිකාර මගින් ස්නායු ක්‍රියාව උත්තේජනය කිරීමත් මගින් රෝගියාට පහසුවක් ලබා දීම සිදුවේ. නාඩිබලකාරක හා රසායන චිකිත්සාව මගින් සිරුරේ පටක අලුත්වැඩියා කිරීම මෙන්ම නාඩිපෝෂක තෛල වර්ග අභ්යංගය හරහා මාංශ පේශි ශක්තිමත් කිරීම ද කළ හැකි බව අපේ අත්දැකීමයි. එසේම ශරීර අභ්‍යන්තරයට යොදන ඖෂධ වලින් හෘදය, වකුගඩු, අක්මාව හා මොළය යන ඉන්ද්‍රියන් ගේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වන බලපෑම තිබෙන බව පර්යේෂණ වලින් හෙළිවී තිබේ. ඒවායේ බලපෑම වඩාත් ඵලදායී වීම සඳහා රෝගී චර්යාව, සත්කාරය සහ ආහාරපාන රටාව ද සාධනීය ලෙස වෙනස් කළ යුතුය.
ආයුර්වේද ප්‍රතිකාරය පුද්ගල-කේන්ද්‍රීය නිසා හැම විටම රෝගියාගේ ශරීර ප්‍රකෘතිය, රෝගයේ බරපතලකම, පාරිසරික තත්වයන්, ප්‍රධාන රෝගය සමඟ බැඳුණු වෙනත් රෝග, ගනු ලබන ඖෂධ වර්ග ආදී බොහෝ සාධක චිකිත්සාව සාර්ථක කරගැනීමේ ලා වැදගත් වේ. එබැවින් ඒ ඒ රෝගියාගේ තත්වය අනුව සකස් කළ ප්‍රතිකාර පද්ධති වඩාත් ප්‍රායෝගික නිසා රෝගීන් ගේ ආහාර පාන රටාව, දෛනික ජීවන පුරුදු හා මානසික සෞඛ්‍යය වැනි අතිරේක කරුණු ද මෙවැනි චිකිත්සා ක්‍රමයක් තුළ වැදගත් තැනක් ගනියි. මෙවැනි රෝගීන් ගේ භාරකරුවන් ද රෝගය පාලනය කරගැනීමේ ලා බොහෝ සෙයින් උපකාර කළ යුතු අතර ඔවුන් ඉවසීමෙන් හා අවධානයෙන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුය. එහෙත් රෝගියාගේ සෞඛ්‍යය පෙර තිබූ තත්වයට යළි පිළිසකර කිරීම ගැන සහතිකයක් නැත. එසේම මෙවැනි නිදන්ගත තත්වයන් නිට්ටාවට සුව කරන බව පවසා මුදල් ගසා කන ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් ද ප්‍රවේශම් විය යුතුය.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා