02/09/2023
ප්‍රථමාධාරය
ප්‍රථමාධාරයක මූලික අරමුණ ජීවිතයක් බේරා ගැනීම...ඔබ මුලින්ම කලයුතු දේ කලොත් පමණයි ජීවිතය බේරෙන්නේ..
සමහර විට රෝහලකට රැගෙන යාම අවසාන පියවර.........
ඒ වගේමයි අක්ෂි ප්‍රථමාධාර; අරමුණ - පෙනීම බේරාගැනීම. (saving sight)
ප්‍රථමාධාරයක් අවශ්‍ය වන්නේ හදිසි අවස්ථාවක එමෙන්ම රෝහලක් ළඟ පාතක නැතිනම්. රෝහලකට ගෙන යන්නට කාලයක් ගතවේනම්, එමෙන්ම එම ගතවන කාලය රෝගියාට ජීවිතය (හෝ පෙනීම) නැතිවීමට තරම් නම්......එහෙනම් ප්‍රථමාධාරය අවශ්‍යමයි.
ඇසට වන අනතුරකදී ක්‍රියාකරන්නේ කොහොමද ?
අපි එක් එක් උදාහරණ වශයෙන් ගෙන පැහැදිලි කර ගනිමු.
1 මොට පහරක් (අතින් මොට ආයුධයකින් බෝලයකින් ආදී) වැදී ඇස රතුවීම, රිදීම, පෙනීම අඩුවීම
සිදුවිය හැකි හානිය - අස්ථිමය කුහරය පිපිරීම, අසිපියන් හානිවීම, සුදු ඉංගිරියාවේ ලේ ගැලීමක්, අක්ෂි ගෝලය පිපිරීම, කාචය ගැලවී යාම, අස තුලට ලේ ගැලීම, දෘෂ්ඨි විතානයේ හානි හා දෘෂ්ඨික ස්නායුව කැඩී වෙන්වීම.
කල යුතු දේ - පිරිසිදු රෙදිකඩකින් ඇස ආවරයන කර හැකි ඉකමනින් අක්ෂි ඒකකයක් ඇති රෝහලක් වෙත රැගෙන යන්න.
2 උල් දෙයක් ඇනීම (ඇනයක්, ඉරටුවක්, කටුවක්, පැන්සලක් ආදී)
උල්දේ තවමත් තිබේ නම් කිසිවිටක අයින් කරන්නට තැත් කරන්න එපා. පිරිසිදු රෙදි කඩකින් ආවරණය කර වහාම රෝහලට රැගෙන යන්න
3 ඇසට යමක් ඇතුළුවීම (කුඩා සතෙක්, වැලි කැටයක්, රොඩ්ඩක්)
පිරිසිදු ජලයෙන් සෝදන්න. ඉහලින් වත්කර ජලය යොදන්න. බොහෝ විට එය උඩ ඇසි පිහාටුව යට තැන්පත් වන නිසා, ඇසි පිහාටුව අනික්පස හරවා පැහැදිලිව පෙනේ නම් පිරිසිදු ලේන්සු තුඩකින් ඉවත් කරන්න.
කළු ඉංගිරියාව මත ඇති දෙයක් ඉවත් කරන්නට උත්සාහ කරන්නට එපා.
පහසුවෙන් ඉවත් නොවේනම් රෝහලට ගෙන යන්න
4 ඇසට රසායන ද්‍රව්‍යයක් ඇතුළු වූවොත් ( අම්ල භෂ්ම තිනර් සුවඳ විලවුන් පැට්‍රොල් ආදී)
රෝහලට ගෙනයාම දෙවනුවයි - ඉතා වැදගත්
ඇස මුහුණ හෝ රසායන ද්‍රව්‍ය වැටුණු කොටස ගලා යන ජලයෙන් සෝදන්න. විශේෂයෙන් ඇස ජලය භාජනයකින් වත්කරමින් විනාඩි 15ක් පමණ හොඳින් සෝදන්න. තිබෙන කුමන හෝ ජලයක් පාවිච්චි කරන්න. ඇස තුල රසායන තිබෙන කාලය හැකිතාක් අඩු කිරීම ඉතා වැදගත්.
එයයි මූලිකම කරුණ.
හොඳින් ජලයෙන් සේදුවාට පසුව ඉක්මනින් රෝහලට රැගෙන යන්න.
සැමවිටම අක්ෂි ඒකකයක් ඇති රෝහලකට රැගෙන යාම වැදගත්.
සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රෝහල් වල (පළාත, දිස්ත්‍රික් මහා රෝහල හා බොහෝ මූලික රෝහල්) අක්ෂි එකක තිබෙනවා.
පිළියන්දල ප්‍රජා අක්ෂි සත්කාර මධ්‍යස්ථානයේ පණිවුඩයක් !