
10/04/2024
ක්ෂය රෝගය නිසා ලංකාවේ දවසකට දෙන්නෙක්වත් මැරෙනව කියල ඔබ දැන සිටියද? මේ අයත් ලංකාවේ බහුතරයක් වගේ ක්ෂය රෝගය ගැන දැනුවත් නොවුන අය. මෙවැනි රෝගීන්ගේ දුක්බර කතා දිනපතා ඇහෙන්න ලැබෙන අපි, මෙයින් කතා තුනක් ඔබ හමුවේ තබන්න තීරණය කරා.
පළවෙනි කතාව
මගේ නම නිමල්, ගම කළුතර. මම දැනට සේවය කරන්නෙ ඇඟලුම් කම්හලක. කාලයක් තිස්සේ මට වද දුන්න කැස්සක් ගැන කතාවක් තමයි අද මම ඕගොල්ලොත් එක්ක බෙදාගන්නෙ.
මට ගිය අවුරුද්ද අන්තිම කාලෙ ඉඳලා සැරින් සැරේට ආපු සෙමකැස්සක් තිබුණා. කීප වතාවක්ම මම ළඟ තියෙන ඩිස්පෙන්සරියකින් බෙහෙත් ගත්තට මට සම්පූර්ණ සුවයක් ලැබුණේ නැහැ. ගොඩක් වෙලාවට කියපු දේ තමයි මම වැඩ කරන රස්සාව නිසා එතන දූවිලි නිසා ආපු කැස්සක් වෙන්න පුළුවන් කියල. ඊට අමතරව ඒ දවස්වල තිබිච්ච වැහි සහිත කාලගුණය නිසා ආපු කැස්සක් කියලත් බොහෝ දෙනෙක් මට කිව්වා. හැබැයි දිගින් දිගටම කැස්ස තිබිච්ච නිසා මට සැරින් සැරේට උණ ගන්න පටන් ගත්ත නිසා මගේ වැඩපළේ කෙනෙක් කිව්වා, හොඳ නැද්ද ළඟම තියෙන ඉස්පිරිතාලෙකට හරි ලය සායනයට ගිහිල්ලා පෙන්වන්න ගන්න එක කියල. පොඩ්ඩක් කරදර වැඩක් කියලා ඒ වෙලාවේ හිතුනත් මට කතා කරපු යාළුවා දැනුම් තේරුම් ඇති වගකීමක් ඇති කෙනෙක් නිසාම මම හිතුවා මම ගිහිල්ලා ඉස්පිරිතාලෙටවත් පෙන්නලා මේ කැස්ස මොකක්ද කියලා හරියටම දැනගෙන බෙහෙත් කරගන්න ඕනේ කියල.
ඉස්පිරිතාලෙන් කරපු X-Ray එකෙනුයි සෙම පරීක්ෂා කිරීමෙනුයි තමයි දැනගත්තේ මට ක්ෂය රෝගය තියෙනවා කියන එක. ඒ වෙලාවේ හිතට පොඩි බයක් ආවත් එතන හිටපු මට කියපු විදිහට මම වැඩි කාලයක් නාස්ති නොකර ඉක්මනට ආපු නිසා රෝගය මගේ පෙනහළු වලින් පිටතට පැතිරීමක්වත් දරුණු පෙනහළු ප්‍රශ්නයක්වත් ඇතිවන තත්ත්වෙකට ඇවිල්ලා නැහැ කියලා කිව්වා. ඒත් එක්කලම මගේ ප්‍රතිකාර පටන් අරගෙන ටික දවසක් යනකොටම මට විශාල සුවයක් දැනුනා විතරක් නෙමෙයි මගේ දවස පුරා වැඩකරගෙන යන්න තිබිච්ච හැකියාවත් රෑට නැතුව තිබිච්ච දේවලුත් එහෙම පිටින්ම වගේ සුව වෙලා ගියා. ඉතින් මම මේ කතාව විදිහට ඕගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවේ මොකද මම වගේ තවත් ගොඩක් අය ලංකාවේ ඉන්නවා කියලා හිටපු වෛද්‍යවරු මට කිව්වා. අවාසනාවකට වගේ නොදැනුවත්කම නිසාම ලංකාවේ හැම දවසකම ක්ෂය රෝගය නිසා මිනිසුන් දෙන්නෙක්වත් මැරෙනවා කියල කිව්වම මට හිතුනා මට පුළුවන් විදියට මම සියලු දෙනාටම මේක ගැන දැනුවත් කරනවා කියලා.
මගේ කතාව ඕගොල්ලොන්ටත් දැනෙනවා කියලා හිතෙනවා නම් වෙලාව නාස්ති කරන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමුවෙලා රෝගය සඳහා අදාළ වන සෙම පරීක්ෂා කිරීමක් අදම සිදු කරගන්න කියලා ඕගොල්ලන්ගේ මම ඉල්ලා සිටිනවා.
දෙවෙනි කතාව
මගේ නම චිත්රාණී. මේ කතාව මගේ ජීවිතේ විඳින්න වෙච්ච දුක්බරම සිද්ධි මාලාවක් ගැන. මේ කතාව මේ විදියට ඕගොල්ලෝ හමුවේ තියන්න තීරණය කරේ මේ වගේ දෙයක් ඕගොල්ලන්ගේ ආදරණීයන් අතරෙවත් සිදුන් නොවෙන්න වගා බලාගන්න කියලා ඕගොල්ලොන්ගෙන් ඉල්ලීමක් කරන ගමන්. මගේ තාත්තා තමයි අපේ ගෙදර දෙවියෝ වගේ අපිට හැම දෙයක්ම කරලා දුන්නේ. පොඩි කාලේ ඉඳලා ගේ නංගිටයි මල්ලිටයි මටයි අවශ්‍ය හැම දෙයක්ම ලබා දීලා, අපිව ලොකු මහත් කරේ හරි අපිව ලොකු තැනකට යවලා ඒ දිහා බලලා එයාට සන්තෝස වෙන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. අද මම වැඩ කරන්නේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂක කෙනෙක් විදියට. හැබැයි අපේ නොදැනුවත්කම නිසා හෝ අවධානය අඩු නිසා හෝ මගේ තාත්තා අද අපිත් එක්ක නැහැ. තාත්තට මාස ගානක ඉඳලා හැදෙන කැස්සක් තිබුණා. අනිත් හැම දෙනෙක්ම වගේ ගොඩක් තැන්වලට ගිහිල්ලා බෙහෙත් කරගත්තට, තාත්තට දියවැඩියාව තියෙනවා කියලා දැනගත්තට ඊට වැඩි දෙයක් හොයාගන්න බැරි වුණා. තාත්තා එන්න එන්නම දුර්වල වුණා. වෙලාවකදි මේක පිළිකාවක්ද කියලා අපිට සැක හිතුණා. තාත්තට සැරින් සැරේට උණ ගත්තට අමතරව තාත්තාගේ සවි ශක්තිමත් පෘෂ්ටිමත් ශරීරය අපි බලාගෙන ඉඳිද්දිම දුර්වල වෙන්න පටන් ගත්ත. එතකොට මේක පිළිකාවක්දෝ කියන සැකෙත් එක්කල තමයි අපි පෙනහලු සම්බන්ධ රෝග සායනයට තාත්තව පෙන්නුවේ. එතනදි ඒගොල්ලෝ ක්ෂණිකවම පරීක්ෂා කරලා අපිට කිව්වා තාත්තට තියෙන්නේ ක්ෂය රෝගය කියලා. පිළිකාවක් නොවෙයි කියලා දැනගත්තම පොඩි හිතට සැනසුමක් ආවත් ඊළඟට අහන්න ලැබුණු දේ නිසා අපි ඔක්කොම අදටත් තැති ගැනීමකින් ජීවත්වන්නේ. තාත්තගේ පෙනහළු වලට ආසාදනය වෙලා තිබිච්ච රෝග තත්ත්වය මුළු ශරීරය පුරාම දුවල පෙනහළු සම්පූර්ණයෙන් වගේම විනාශ වෙලා තිබුණේ. ඊට අමතරව තාත්තගෙ දියවැඩියා තත්ත්වය හරියාකාරව පාලනය කරල නැති නිසා අනෙක් අවයව වලත් යම් යම් අඩුපාඩු තියෙන බව අපට දැනුම් දුන්නා. තාත්තව එවේලෙම රෝහල් ගත කරලා කරන්න පුළුවන් හැම දෙයක්ම ඉස්පිරිතාලෙන් කරත් අපි ඒ වෙනකොටත් පරක්කු වෙලා තිබුණා වැඩියි. ඒ දුක අදටත් අපේ පවුලේ සියලු දෙනාම විඳින ගමන් අපි හිතා ගත්තා අපිට වෙච්ච මේ කරදරේ තවත් කෙනෙක්ට නොවෙන්න දන්න කියන හැම කෙනෙක්ටම මේ වගේ සුව නොවෙන කැස්සක් සති දෙකකට වඩා තියෙනවා නම් ළඟම තියෙන රෝහලට හෝ ලය සායනයකට ගිහිල්ලා ක්ෂය රෝගයට අදාළ සෙම පරීක්ෂා කරගැනීම සිදුකර ගන්න කියල. අපිත් පස්සේ තමයි දැනගත්තේ රෝගය ගැන අපි මේ දවස්වල වැඩිපුර අහලා තිබුණේ නැති උනාට ලංකාවෙ මිනිස්සුන් හත්සිය පනහකට වඩා අධික පිරිසක් අවුරුදු පතා ක්ෂය රෝගය නිසා මිය යන බව. ක්‍රමක්‍රමයෙන් ප්‍රතිජීවක අවභාවිතය සමඟම ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝග ප්‍රභේද සමගම, බෝ නොවන රෝගීන් අපි අතරේ වැඩිවීමත් එක්කම ක්ෂය රෝගය යළිත් වරක් මිනිසුන් අතර පැතිරීම වැඩිවෙලා තියෙනවා කියලා වෛද්‍යවරු අපිව දැනුවත් කරා.මේ නිසා ඔබ දන්නා වයසින් වැඩි කෙනෙක් හෝ දියවැඩියාව වැනි වෙනත් රෝගාබාධ වලින් පෙළෙන කෙනෙක් සති දෙකකට වඩා වැඩි කාලයක් පුරාවටම කැස්ස රෝගයෙන් පෙළේ නම් අනිවාර්යයෙන්ම ක්ෂය රෝගය සඳහා පරීක්ෂා කරගැනීම සඳහා යොමු කරවීමට ඔබේ සහයෝගය ලබාදෙන්න.
අවසාන කතාව
මගේ නම නන්දනී. මගේ ආච්චි නැති උනේ ක්ෂය රෝගීගෙන් කියලා අපි දැනගත්තේ ආචිගේ මරණ පරීක්ෂණ වාර්තාවත් ලැබුණට පස්සේ. අපේ ආච්චි නැති වෙනකොට එයාගේ වයස අවුරුදු 83ක්. ආච්චිගෙ වයසත් එක්කම අන්තිම කාලෙ ත් දිගටම තිබිච්ච කැස්ස අපි හැමෝම හිතුවේ වයසත් එක්කලා එන සුව කරන්න බැරි තත්ත්වයක් කියල. ඉතින් අපි ට ලොකුවට බෙහෙත් කරන්න නැති උනාට ආච්චි පුරුදු විදිහටම අත් බෙහෙත් පාවිච්චි කර කර හිටිය ආච්චිගේ අන්තිම දවස් වෙනකම්ම.
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා, දිස්ත්‍රික් ක්ෂය රෝග මර්දන නිලධාරී, සහ PHI මහත්තයා අපේ ගෙදරට ඇවිල්ලා ආච්චි කිට්ටුවෙන්ම ආශ්‍රය කරපු අයව පරීක්ෂා කරන්න ඕනේ කියල කියපු වෙලාවේ තමයි මටත් මතක් උනේ සති ගානක ඉඳලා කැස්සක් මටත් තියෙනවා කියලා. මට ක්ෂය රෝගය වෙන්න ඇති කියලා ඒ වෙලාවේ හිතුනත් ඒක වයසක අයට හැදෙන ලෙඩක් කියල හිතුන නිසත්, ක්ෂය රෝගය තියෙනවා කියලා අනිත් අය දැනගත්තොත් ඒක මට ගැටලුවක් වෙයි ද? මගේ රස්සාව මට කරගෙන යන්න බැරි වෙයි කියලා හිතට ආපු සැකෙත් එක්කලම මම මේක ගණන් ගන්නේ නැතුව ඉන්න තීරණය කරා. හැබැයි සතියක් දෙකක් යනකොට මට තේරෙන්න පටන් ගත්තා මගේ ඇඟ දුර්වල වෙනවා කියලා ඒ වගේම මට ඉස්සර වගේ වැඩ කරගෙන යන්න බැහැ කියන එකත් මට තේරුම් යන්න පටන් අරගෙන තිබුණේ. වෙන කරන්න දෙයක් නැති නිසා සෞඛ්‍ය වෛද්යනිලධාරිතුමා සහ PHI මහත්මයා පැහැදිලි කරපු විදිහට ලඟම ඉස්පිරිතාලෙට යන්න මම තීරණය කරා. මගේ විස්තර ඔක්කොම අහලා OPD එකේ හිටපු doctor මාව යොමු කරා ලය සායනයට. එතෙන්දි X-Ray පරීක්ෂණයක් සහ සෙම පරීක්ෂාවකින් පස්සේ මටත් ක්ෂය රෝගය තියෙන බව හඳුනාගෙන එවේලෙම බෙහෙත් කරන්න පටන් ගත්ත. මාවත් පුදුමයට පත් කරමින් මට මං ගැනම හිනාවෙන තත්වෙකට මම ආවා, මොකද මම ලොකුවට හිතාගෙන හිටපු ක්ෂය රෝගයට බෙහෙත් කරන එක ඉතාමත් සරලව මට පැහැදිලි කරලා දීලා බෙහෙත් ටික දීලා ගෙදර ගිහිල්ලා ඉන්න ඕන විදිහත් කියල දීලා සායනයෙන් මාව ගෙදර එව්වා. මේක නිකන් කැස්සකට බෙහෙත් ගන්නවා වගේ දෙයක් කියලා තේරුනේ මට ඊට පස්සේ තමයි. වගකීම ටිකක් වැඩි වුනාට ගන්න ඕන බෙහෙත් ප්‍රමාණය ටිකක් වැඩි වුණාට මේක හරි විදියට බෙහෙත් ගත්තොත් ඉතාමත් සරල විසඳුමක් තියෙන්නේ කියන එක මට ඒ වෙලාවේ තමයි තේරුනේ. බෙහෙත් ටික හරියට ගන්නවද කියලා බලන්නත් මට මොනවා හරි ගැටලු තියනවද කියලා හොයලා බලන්න PHI මහත්මය දිගින් දිගටම රෝගය සුව වෙනකම් නිවසටම පැමිණ පරීක්ෂා කරලත් බැලුව.
අද මම ක්ෂය රෝගයෙන් සියයට සීයක්ම සුව වෙලා ඉස්සරටත් වඩා හොඳට මගේ රස්සාව කරගෙන මම සතුටින් ජීවත් වෙනවා. මගේ හිතේ බොරු බයක් නිසා සමහරවිට මම මගේ මුළු ජීවිතේම නැති කරගන්න තිබුණා.
මෙන්න මේ අනියත බය නැති කරගන්න ඕගොල්ලන්වත් උනන්දු කරවන්න තමයි මගේ කතාව ඕගොල්ලොන්ට කියන්න මම තීරණය කරේ.
ඕගොල්ලෝ ලඟින් ආශ්‍රය කරන කෙනෙක්ටය රෝගය වැළඳී තිබුණහොත් හෝ සති දෙකකට වඩා කැස්සක් ඕගොල්ලොන්ටත් තියෙනවා නම් වෙලාව නාස්ති කරන්නේ නැතුව අපහසුතාවෙන් ජීවත් වෙන්නේ නැතුව ලඟම සිටින වෛද්‍යවරයෙක් හමු වී ක්ෂය රෝගය සඳහා පරීක්ෂාව සිදු කරගන්න කියන එක තමයි අවසාන වශයෙන් මට ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටින එකම දේ