Ruhunu Blood Collection Centre

Ruhunu Blood Collection Centre We provide clients with Sri Lanka's #01 Medical Laboratory Testing services via
Asiri, Durdans & Nawaloka Laboratories.

පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ ඔබගේ සමීපතමයින් වැඩි වශයෙන් උණ තත්වයන්ට ගොදුරුවනු නිරීක්ෂණය වන්නට ඇති. ඇත්තවශයෙන්ම උණ යන...
22/01/2023

පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ ඔබගේ සමීපතමයින් වැඩි වශයෙන් උණ තත්වයන්ට ගොදුරුවනු නිරීක්ෂණය වන්නට ඇති. ඇත්තවශයෙන්ම උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවෙයි. ඉතින් මේ අප දකින උණ තත්වයන්ට හේතු වූ රෝගය කුමක් විය හැකි ද? උණ තිබේ නම් කළ යුත්තේ කුමක් ද? නොකළ යුතු දෑ මොනවා ද? යන්න ඔබත් සමඟ සාකච්ඡා කිරීමට අප මෙම කෙටි සටහනෙන් අපේක්ෂා කරනවා.

මේ දිනවල පැතිරයන උණ තත්වයන්ට ප්‍රධානතම හේතුව ලෙස , ශ්වසන වෛරසයක් වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රබේධයක් හේතු වී ඇති බවට විශේෂඥයින් විශ්වාස කරනවා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි ලක්ෂණ සමඟ ඇතිවන උණ මෙහිදී දකින්නට ලැබෙනවා. කෙසේ නමුත් මෙවැනිම රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ්-19 ඇතුලු තවත් ශ්වසන වෛරස අප අවට පරිසරයේ පවතින බව අමතක කරන්නට බැහැ.

රට තුල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවත් සීග්‍රයෙන් ඉහළගොස් තිබෙන වකවානුවක අප දකින ඇතැම් උණ තත්වයන් ඩෙංගු වන්නටත් ඉඩ තිබෙනවා. මී උණ වැනි අප රටේ පැතිර පවත්නා තවත් බෝවෙන රෝගවලත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ උණ ඇතිවීමයි.

ඇතැම්විට නිවසේදී ඔබට වෙන්කර ගැනීමට අපහසු, මෙවැනි හේතු ගණනාවක් නිසා උණ ඇතිවිය හැකි වුවත් පොදුවේ එවන් අවස්ථාවක අප කලයුතු දෑ දැනගෙන සිටීම සංකූලතා අවම කරගෙන ඉක්මනින්ම සුවපත්වීමට ඉතා වැදගත්.

ඔබට හෝ සමීපතමයෙකුට උණ ඇතිනම් හොඳින් දියර වර්ග ලබාගනිමින් විවේකීව සිටීම වැදගත්. පානීය ජලය පමණක් නොව කැඳ, සුප්, තැඹිලි වැනි ඛනිජ ලවණ අඩංගු පාන වර්ග ඔබට ලබාගත හැකි නම් වඩාත් සුදුසුයි. එමෙන්ම ශරීරයේ දියර මට්ටම ඉක්මනින් ඉහළ නංවන සහ පහසුවෙන් සකස් කරගත හැකි පානයක් වන ජීවනී පැකට්ටුවක් නිවසේ තබාගත හැකිනම් මෙවන් මොහොතක ඔබට එය ක්ෂණිකව පිළියෙල කරගෙන භාවිතා කල හැකියි. පෝෂණීය ආහාරවේලක් ලබාගැනීමත් ඉක්මන් සුවයට උපකාරයක්. උණට සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධය පමණක් නිසි මාත්‍රාවෙන් ලබාගැනීම කල හැකියි.

ඔබ වයස්ගත පුද්ගලයෙකු , ගැබිණි මවක හෝ වෙනත් නිධන්ගත රෝගයකින් පෙළෙන අයෙකු නම් උණ ඇති වූ පළමු දිනයේදීම වෛද්‍ය උපදෙස් ලබාගැනිම වැදගත්. එසේ නොමැති නිරෝගී අයෙකු වුවත් දින දෙකකට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාරවෙත යොමුවීම සුදුසුයි.

කිසිදු හේතුවක් නිසා පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ ලබාගැනීම නොකලයුතුයි. ප්‍රතිජීවක ( ඇන්ටිබයොටික් ) වෛද්‍ය නිර්දේශයක් මත පමණක් සම්පූර්ණ මාත්‍රා ගණන ලබාගත යුතු අතර ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධත් වෛද්‍ය නිර්දේශ රහිතව ලබාගැනීම අනතුරුදායකයි.

ඇතැම් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට උණ සුවවීමෙන් පසුව කල්පවතින කැස්සක් ඇතිවනබව නිරීක්ෂණය වී තිබෙනවා. මෙවන් තත්වයන්ට වෛද්‍ය උපදෙස් මත ලබාගන්නා ඉන්හේලර් ( Inhaler ) හෝ වෙනත් ඖෂධ කෙටි කාලයකට අවශ්‍ය විය හැකියි.

වෛරස මගින් බෝවන ශ්වසන රෝග වළක්වාගැනීම ගැන ඔබ දැනටමත් දන්නා නිතර දෑත් පිරිසිදු කරගැනීම, මුහුණු ආවරණ පැළඳීම, හැකි හැමවිටම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, කහින කිවිසින විට වැළමිටේ ඇතුල්පැත්තට හෝ ටිෂූ කඩදාසියකට එය පිටකිරීම වැනි ක්‍රමෝපායන් භාවිතා කිරීම මඟින් හැකියාව ලැබෙනවා. ඩෙංගු ආසාදන වළක්වා ගැනීමට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මදුරු දශ්ඨනයෙන් වැළකීම ඉතා වැදගත්. මී උණෙන් වැළකීමේ වැදගත් පියවරක් ලෙස ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයෙන් (MOH) ලබාදෙන ඖෂධ ලැබෙන උපදෙස් පරිදි කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන කාල සීමාව තුල ලබාගැනීම, සඳහන් කරන්නට පුලුවන්.

මේ සියලු රෝග තත්වයන් හැකිතාක් වළක්වා ගැනීමටත්, ‍යම් හෙයකින් ආසාදනයට ලක් වුවහොත් සුදුසුම ක්‍රියාමාර්ගය නොපමාව ගැනීමට මෙන්ම සංකූලතා වළක්වා ගැනීමටත් මේ දැනුම ඔබට ඉවහල්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ…වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍...
13/08/2022

'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ…

වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඔබ, 'මංකිපොක්ස්' බවට සැක කල හැකි රෝගියෙක් ද? 'මංකිපොක්ස්' රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ අවස්ථා වලදී කල යුත්තේ කුමක් දැයි යන අවබෝධයත් ඔබ වෙත සමීප කිරීම මෙම සටහනේ අරමුණයි.

👉 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි පුද්ගලයින් ( Suspected cases - Monkeypox)
වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි,

එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක්
සමඟ,

හිසරදය
එක්වරම හටගත් උණ
වසාගැටිති ඉදිමුම
මස් පිඩු වේදනාව
කොන්දේ වේදනාව
තදබල තෙහෙට්ටු ස්වභාවය

යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා 'මංකි පොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි අයෙකු ලෙස සැලකෙනවා.

කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ සහිත පුද්ගලයෙක් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා.

👉 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින් ( Probable cases - Monkeypox)

පෙර කී රෝග ලක්ෂණ අනුව 'මංකි පොක්ස්' බවට සැක කෙරෙන පුද්ගලයෙක්,

තහවුරු කල 'මංකි පොක්ස්' රෝගියෙකුගේ සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රෝග ලක්ෂණ හටහැනීමට දින 21ක් ඇතුලත, නාඳුනන අයෙකු සමඟ හෝ එක් අයෙකුට වැඩි දෙනෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් මංකිපොක්ස් වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාල ප්‍රතිඵල ලැබේ නම්

ඔහු හෝ ඇය, 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙනවා.

දැනට යමෙකු 'මංකි පොක්ස් රෝගියෙකු' බවට නිශ්චිතවම තහවුරු කල හැක්කේ සමෙහි ඇති වූ තුවාල වල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණයි.

👉 'මංකි පොක්ස්' ආශ්‍රිතයින් (Contacts - Monkeypox )

මුල්ම රෝග ලක්ෂණය හටගැනීමේ පටන් තුවාල වියලී, කබොලු සියල්ලම හැලී යන තුරු 'මංකිපොක්ස්' රෝගියෙකු වාහකයෙක් විය හැකියි. එම වාහක කාලය තුල ඉහත විස්තරකල ' 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි' හෝ ' 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි ' කෙනෙකු,

මුහුණට මුහුණලා සමීපව ඇසුරු කලහොත් හෝ
ඉතා සමීප ශාරීරික සබඳතා පැවැත්වුවහොත් හෝ
පරිහරණය කල උපකරණ හෝ ඇඳ ඇතිරිලි යනාදිය භාවිතා කලොත්

එම පිරිස ආශ්‍රිතයින්, ලෙස සැළකෙනවා.

රෝග ලක්ෂණ කිසිවක් නැති ආශ්‍රිතයින්, සෞඛ්‍ය උපදෙස් අනුව දින 21 ගතවන තෙක් පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර රෝග ලක්ෂණ එකක් හෝ හටහතහොත් වහාම අන් අයගෙන් වෙන් වී උපදෙස් අනුව කටයුතු කල යුතු වනවා.

ඔබත් මංකිපොක්ස් ආශ්‍රිතයෙකු වුවහොත් ඔබ කලයුතු දෑ පිළිබඳ වැඩිදුර විස්තර පියවරෙන් පියවර මීලඟ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ වසංගත අවදානම පිළිබඳ දැනුවත් ඔබ සියලු දෙනා, ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් සෞඛ්‍යය පිළිබඳව විමසිල්ලෙන් පසුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

'මන්කි පොක්ස්' වසංගත අවදානමට - දැනුම් සූදානම!!මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන ...
04/08/2022

'මන්කි පොක්ස්'

වසංගත අවදානමට - දැනුම් සූදානම!!

මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.

රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000කටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය 'ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්' (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම 'මන්කිපොක්ස්' ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

'මන්කි පොක්ස්' ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.

උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි.

සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා. මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් - පා - මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්.

'මන්කි පොක්ස්' සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.
-උපුටාගැනීමකි-

24/07/2022
ශරීරයේ කැක්කුම් අනුව දැනුවත් විය යුතු රෝග..💚💚
17/07/2022

ශරීරයේ කැක්කුම් අනුව දැනුවත් විය යුතු රෝග..💚💚

23/06/2022
👉ලෙඩ රැසක් හෙළිකරන කකුල් ඉදිමීම!අප තුළ හටගන්නා ඇතැම් රෝග ලක්ෂණ ශරීරයේ එක් අවයවයකට හෝ පද්ධතියකට සීමා නොවිය හැක. මෙවැනි එක...
12/05/2022

👉ලෙඩ රැසක් හෙළිකරන කකුල් ඉදිමීම!

අප තුළ හටගන්නා ඇතැම් රෝග ලක්ෂණ ශරීරයේ එක් අවයවයකට හෝ පද්ධතියකට සීමා නොවිය හැක. මෙවැනි එක් පද්ධතියකට හෝ අවයවයකට සීමා නොවී මතුවන රෝග ලක්ෂණ අතර මුල් තැනක් ගන්නා රෝග ලක්ෂණයක් වනුයේ කකුල් ඉදිමීමයි. කකුල් ඉදිමීමට බොහෝ හේතු බලපායි. ඉන් මුල්තැනක් ගනුයේ හෘදය ආශ්‍රිත රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම, සිරෝසිස් වැනි අක්මාව ආශ්‍රිත රෝග, තයිරොක්සින් හෝමොනයේ ඌණතාව සහ ඇතැම් ඖෂධ වර්ග භාවිතයයි.

කකුල් ඉදිමීම් රෝග ලක්ෂණය සමගින් රෝගියකු පැමිණි විට වෛද්‍යවරයා විසින් කළයුතු පළමු කාර්යය වනුයේ කකුල් ඉදිමීම ප්‍රධාන වශයෙන් එක් කකුලකද එසේ නැත්නම් සමානව කකුල් දෙකෙහිම දැකිය හැකිද යන්න පරීක්ෂා කිරීමයි. මෙයට හේතුව යම් අයකුගේ කකුල් දෙකෙහිම ඉදිමීම දැකිය හැකිනම් එයට ප්‍රධාන වශයෙන් ශරීර අභ්‍යන්තරයේ රෝග ලක්ෂණයක් තිබිය හැකිවීමයි. බොහෝ විට එක් කකුලක් පමණක් ඉදිමීම දැකිය හැකි වනුයේ එම කකුල ආශ්‍රිතව ඇතිවී තිබෙන රෝග තත්ත්වයක් හේතුවෙනි.

👉හෘදය ආශ්‍රිත රෝග:
කකුල් ඉදිමීමට බලපාන ප්‍රධානතම අභ්‍යන්තර රෝග තත්ත්වයක් වනුයේ හෘදවස්තුව ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව වේ. හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා හාට් ෆේයිලියර් නැමැති රෝග තත්ත්වය නිසා මෙසේ කකුල් ඉදිමීම ඇතිවේ. මෙම රෝගින්ගේ කකුල් ඉදිමීමට අමතරව හුස්ම ගැනීමේ අපහසුතා දැකිය හැක. මුල් කාලයේදී ගමනක් එක දිගට යාමේදී හුස්ම ගැනීම අපහසු වන අතර පසු කාලයේදී කිසිම කාර්යයක නොයෙදන අවස්ථාවලදී පවා හුස්ම ගැනීම අපහසු විය හැක. හෘදය ආශ්‍රිත රෝග නිසා කකුල් ඉදිමීම සිදුවන රෝගිහු බොහෝවිට දියවැඩියාව අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි රෝගවලින් පීඩා විඳිති.

ඇතැම්විට දීර්ඝකාලීනව ඇදුම වැනි පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව ඇති රෝගීන්ගේද පසුකාලයේදී හෘදවස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා කකුල් ඉදිමීමේ තත්ත්වයක් දැකිය හැක.

👉වකුගඩු රෝග:
කකුල් ඉදිමීමට බලපාන තවත් අභ්‍යන්තර රෝග තත්ත්වයක් වනුයේ දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග තත්ත්වයයි. මෙවැනි රෝගීන්ගේ කකුල් ඉදිමීමට අමතරව බොහෝවිට මුහුණ ඉදිමීමද දැකිය හැක. දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් දකින අනෙකුත් රෝග ලක්ෂණ වනුයේ නිරක්තභාවය, සම කළුවීම, නියපොතු පැහැය වෙනස්වීම, සම කැසීම, කෑම රුචිය අඩුවීම, වමනය සහ ඔක්කාර ගතිය ඇතිවීමයි. ඇතැම් රෝගීන් තුළ මුත්‍රවල අධික ලෙස පෙණ තිබීමත් දැකිය හැක. දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය නොවී වකුගඩු වලින් අධික ලෙස ඇල්බියුමින් පිටවන නෙප්‍රොටික් සින්ඩ්‍රෝම් වැනි රෝග තත්ත්ව නිසාද කකුල් ඉදිමීමේ තත්ත්වය ඇතිවිය හැක.

👉සිරෝසිස්:
අක්මාව ආශ්‍රිතව දකින ප්‍රධාන රෝග තත්ත්වයක් වන සිරෝසිස් නැමැති රෝග තත්ත්වය නිසාත් ඇතැම් රෝගීන්ගේ කකුල් ඉදිමීමක් දැකිය හැක. බොහෝ සිරෝසිස් රෝගීන්ගේ කකුල් ඉදිමුමට අමතරව බඩ ඉදිමීමේ තත්ත්වයද දැකිය හැක. මෙම සිරෝසීස් රෝගය නිසාද සම කළුවීමේ තත්ත්වයක් ඇතිවිය හැක. ඇතැම් රෝගීන්ගේ ඇස් කහවීම, නිරක්තභාවය, සම කැසීම, කෑම අරුචි, වමනය යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැක.

සිරෝසීස් රෝගයට ප්‍රධානතම හේතුව වනුයේ මත්පැන් භාවිතයයි. මත්පැන් භාවිතය නොකරන අයගේ සිරෝසීස් රෝගය සෑදීමට හේතු සාධක කිහිපයක් ඇත. ඒ අතර දියවැඩියා රෝගයයි. ඇතැම් ඖෂධ වර්ග හෙපටයිටිස් බී සහ සී වැනි රෝග තත්ත්ව, ශරීරයේ අධික ලෙස යකඩ සහ කොපර් ලබන තැන්පත් වීම මුල්තැනක් ගනී

👉තයිරොක්සින් මඳවීම:
තයිරොක්සින් හෝමෝනය මඳවීම නිසාද ඇතැම් අයගේ කකුල් ඉදිමීම දැකිය හැක. තයිරොක්සින් මඳවීම නිසා මුළු ශරීරයම ඉදිමීමක් දැකිය හැක. ඇතැම් අයට කටහඬේ ගොරෝසු බවක්ද නිතර නිදිමත ඇතිවීමද බඩ වේළීමක්ද අත්වල හිරිවැටීමක්ද ඇතිවිය හැක. මෙම රෝගීන්ට තයිරෝක්සින් හෝමෝනය ලබා ගැනීමෙන් ඉහත සඳහන් රෝග ලක්ෂණවල අඩුවීමක් දැකිය හැක.

👉ඖෂධ වර්ග:
කකුල් ඉදිමීමට හේතුවන තවත් එක් සාධකයක් වනුයේ අප භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගයි. ඒ අතර අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරන නිෆෙඩිපින් සහ ඇම්ලෝඩිපින් ඖෂධ මුල් තැනක් ගනී. එම නිසා කකුල් ඉදිමීමක් ඇති රෝගින් තම ඖෂධ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුවේ.

👉ගර්භණීභාවය:
ශරීර අභ්‍යන්තරයේ ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇතිවන යම් වර්ධන තත්ත්ව කකුල්වලින් රුධිරය රුගෙන එන මහා ශිරාවලට ඇති කරන තෙරපීම් තත්ත්ව හේතුවෙන්ද ඇතැම් අයගේ කකුල් ඉදිමීමක් දැකිය හැක. ගර්භණී කාලය තුළ කකුල් ඉදිමීමට එක් හේතුවක් වන්නේද ගර්භාෂය මහා ශිරාවලට ඇතිකරන තෙරපීම් තත්ත්වයයි.

👉විවිධ හේතු රැසක්:
කකුල්වල ඇති වසා නාළවල ඇතිවන රෝග තත්ත්වයක් නිසාද කෙනකුගේ කකුල් ඉදිමීමේ තත්ත්වයක් දැකිය හැක. මෙය ප්‍රධාන වශයෙන් එක් කකුලක ඉදිමීමට හේතුවිය හැකි වුවත් කලාතුරකින් කකුල් දෙකෙහිම ඉදිමුම් තත්ත්වයක් ඇති කළ හැක. ප්‍රධාන වශයෙන් එක් කකුලක ඉදිමීමක් ඇතිවී ඇතිනම් ප්‍රධාන හේතු සාධකයක් වනුයේ සෙලියුලයිටිස් නමැති බැක්ටීරියා ආසාදන තත්ත්වයයි. ඊට අමතරව කකුලෙහි ඇති ප්‍රධාන ශිරාවල ලේ කැටි ගැසීමේ තත්ත්වය නිසාද එක් කකුලක ඉදිමුමක් දැකිය හැක. මේ තත්ත්වය ඩීප් වෙයින් ත්‍රොම්බොසිස් ලෙස හඳුන්වනු ලබයි. සමහර ලේ නහරවල ගැට ඇති රෝගීන්ගේද කකුල්වල ඉදිමුම් තත්ත්වයක් ඇතිවිය හැක.

ඉහතින් සඳහන් නොයෙකුත් රෝග තත්ත්ව නිසා කකුල් ඉදිමීම ඇතිවිය හැකිවූවත් සමහර රෝගීන් කිසිම පරීක්ෂණවලින් සොයාගත නොහැකි තත්ත්වයක් නිසාද කකුල් ඉදිමීම දැකිය හැක. මෙම තත්ත්වය ඉඩියොපතික් ඉඩිමා ලෙස හඳුන්වනු ලබයි.

පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය,
මහාචාර්ය තිලක් ජයලත්
උපුටා ගැනීමකි

Steam (හුමාලය) කිරීම ⭕ Steam කිරීම යනු කුමක්ද? ⭕ සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ කෝඨරක ආසාදනයක රෝග ලක්ෂණ වලින් සහනයක් ලබා ගැනීමට ...
20/03/2022

Steam (හුමාලය) කිරීම

⭕ Steam කිරීම යනු කුමක්ද? ⭕

සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ කෝඨරක ආසාදනයක රෝග ලක්ෂණ වලින් සහනයක් ලබා ගැනීමට නිවසේදී සිදු කල හැකි පිළියමක් ලෙස steam කිරීම හැදින්විය හැක.

මෙය වාෂ්ප චිකිත්සාව ලෙසද හැඳින්වේ. මෙහිදී උණුසුම් ජල වාෂ්ප ආශ්වාස කිරීම සිදු කරනු ලබයි. උණුසුම්, තෙතමනය සහිත වාතය නාස් මාර්ගයේ, උගුරේ සහ පෙනහළුවල ඇති ශ්ලේෂ්මල ලිහිල් කිරීම සිදු කරයි. මේ මගින් ඔබගේ නාස් මාර්ගයේ ඇති රුධිර වාහිනී ආසාදනය වීම හෝ ඉදිමීම නිසා ඇති වන රෝග ලක්ෂණ සමනය කළ හැකිය.

වාෂ්ප ආශ්වාස කිරීම සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි ආසාදනයක් සුව නොකරන නමුත්, ඔබේ ශරීරය එයට එරෙහිව සටන් කරන අතරතුර ඔබට සහනයක් ඇති කිරීමට එය උපකාරී වේ. නමුත් මෙම ක්‍රියාවලිය සිදු කිරීමේ දී ඔබට හානියක් නොවන පරිදි සිදු කරන ආකාරය ඉගෙන ගැනීම වැදගත්ය.

⭕ Steam කිරීමේ ප්‍රතිලාභ මොනවාද? ⭕

නාසයේ හිරවීමක් ඇතිවන්නේ කෝඨරකවල රුධිර නාලවල ඇතිවන ආසාදන හේතුවෙනි. සෙම්ප්‍රතිශ්‍යාව හෝ කෝඨරක ආසාදනය වැනි ශ්වසන මාර්ගයේ ඉහල කොටසේ ඇතිවන ආසාදන හේතුවෙන් රුධිර වාහිනී ආසාදනය විය හැක.

තෙත්, උණුසුම් වාෂ්ප ආශ්වාස කිරීමේ ප්‍රධාන වාසිය නම් නාස් මාර්ගයේ ආසාදන සහ ඉදිමුණු රුධිර නාල සමනය කිරීමට උපකාරී වීමයි. වාශ්ප වල තෙතමනය ඔබේ කෝඨරකවල ඇති ශ්ලේෂ්මල තුනී කිරීමට උපකාරී වන අතර එමඟින් ශ්ලේෂ්මල වඩාත් පහසුවෙන් ඉවත් කිරීමට ඉඩ සලසයි. මෙමගින් කෙටි කාලයක් සදහා ඔබේ හුස්ම ගැනීම සාමාන්‍ය තත්වයට ගෙන ඒමට ඉඩ ලබා දේ.

වාෂ්ප ආශ්වාස කිරීම මගින් පහත සදහන් රෝග ලක්ෂණ වලින් තාවකාලික සහනයක් ලබා ගත හැකිය.

✅ සෙම්ප්‍රතිශ්‍යාව
✅ උණ (influenza)
✅ කෝඨරක ආසාදන (sinusitis)
✅ Bronchitis
✅ නාසයේ අසාත්මිකතා
✅ හිසරදය
✅ උගුරේ අපහසුතා
✅ ශ්වසන මාර්ගයේ අවහිරවීම් නිසා ඇතිවන හුස්ම ගැනීමේ ගැටළු
✅ කැස්ස

වාෂ්ප ආශ්වාස කිරීම මගින් ආසාදනයට වගකිව යුතු වෛරසය විනාශ නොකරයි.

සෙම්ප්‍රතිශ්‍යාව ඇති වැඩිහිටියන් යොදා ගෙන වාෂ්ප චිකිත්සාව පිලිබදව සායනික අත්හදා බැලීම් හයක් සිදු කර ඇති අතර එමගින් මිශ්‍ර ප්‍රතිඵල ලැබී ඇත.ඇතැම් පුද්ගලයන්ට රෝග ලක්ෂණ සමනය වී ඇති නමුත් අනෙක් අයට එසේ නොවීය. මීට අමතරව, සමහර පුද්ගලයන්ට වාෂ්ප ආශ්වාසයෙන් නාසය තුළ අපහසුතාවයක් ඇති වී ඇත.

තවත් මෑතකාලීන සායනික පරීක්ෂණයක් මගින් sinusitis රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමේදී වාෂ්ප ආශ්වාසය භාවිතා කරන ලදී. කෙසේ වෙතත් අධ්‍යයනයන් මගින්, හිසරදය හැරුණු විට, අනෙකුත් සයිනස් රෝග ලක්ෂණ බහුතරයකට වාෂ්ප ආශ්වාස කිරීම ප්‍රයෝජනවත් නොවන බව සොයාගෙන ඇත.

⭕ Steam කිරීම සිදු කරන ආකාරය ⭕

මේ සදහා ඔබට පහත ද්‍රව්‍ය අවශ්‍ය වේ.

✅ විශාල භාජනයක්
✅ ජලය
✅ ජලය රත් කිරීම සඳහා උදුනක් හෝ මයික්‍රෝවේව් උදුනක්
✅ තුවායක්

Steam කිරීමේ ක්‍රියාවලිය:

✅ උතුරන තෙක් ජලය රත් කරන්න.
✅ ප්‍රවේශමෙන් බඳුනට උණු වතුර වත් කරන්න.
✅ තුවාය මගින් ඔබේ හිස වසා ගන්න.
✅ ඔබේ ඇස් වසාගෙන ඔබේ හිස උණු වතුර දෙසට සෙමින් පහත් කරන්න. උණුසුම් ජලය ස්පර්ශ වීම වළක්වා ගැනීම සඳහා අතිශයින්ම ප්‍රවේශම් වන්න.
✅ අවම වශයෙන් මිනිත්තු දෙකේ සිට පහ දක්වා ඔබේ නාසය හරහා සෙමින් හා ගැඹුරින් ආශ්වාස කරන්න.

එක් වරකට විනාඩි 10 සිට 15 දක්වා වැඩි කාලයක් වාෂ්ප ආශ්වාස නොකරන්න. කෙසේ වෙතත්, ඔබට තවමත් රෝග ලක්ෂණ ඇත්නම්, ඔබට දිනකට දෙවරක් හෝ තුන් වතාවක් Steam කිරීම නැවත සිදුකළ හැකිය.

⭕ වාෂ්ප ආශ්වාසයේ අතුරු ආබාධ ⭕

වාෂ්ප ආශ්වාස කිරීම නිවැරදිව සිදු කළහොත් නිවසේදී සිදු කරන ආරක්ෂිත පිළියමක් ලෙස සලකනු ලැබේ. නමුත් ඔබ ප්‍රවේශම් නොවන්නේ නම් නොදැනුවත්වම ඔබටම ඉන් හානි වීම් සිදුවිය හැකි ය.

ඔබ උණු වතුර සමග ස්පර්ශ වුවහොත් ඔබටම පිළිස්සීම් සිදු විය හැකිය.

පිළිස්සීම් වළක්වා ගැනීම සඳහා:

- උණු වතුර භාජනය සමතලා, ශක්තිමත් මතුපිටක් මත තබන්න, එය ඔබ සමග ස්පර්ශ නොවන බවට වග බලා ගන්න.

- වාෂ්ප ඔබේ ඇස් සමඟ ගැටීමට ඉඩ නොදෙන්න.

- උණු වතුර භාජනය කුඩා දරුවන්ට හෝ සුරතල් සතුන්ට ළඟා විය නොහැකි ලෙස තබා ගන්න.

පිළිස්සුම් අවදානම හේතුවෙන් ළමුන් සඳහා Steam කිරීම නිර්දේශ නොකරයි. අධ්‍යයන වලින් හෙළි වූයේ වාෂ්ප ආශ්වාස ප්‍රතිකාරයෙන් පිළිස්සුම් තුවාල ලැබූ බොහෝ දෙනෙක් ළමයින් බවයි.

ඔබට වෙළඳසැල්වලින් මිලදී ගත හැකි Steam කිරීමේ උපකරණ සාමාන්‍යයෙන් ආරක්ෂිත වේ. මන්ද, ජලය ආවරණය කර ඇති බැවින් ඔබේ සම මත උණු ජලය ස්පර්ශ වීමට නොහැක.

ඔබ සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ රෝගයෙන් පෙළෙන විට ඔබේ නාසික සහ ශ්වසන මාර්ග අවහිර වීම් වැලැක්වීමට Steam කිරීම ඵලදායී ක්‍රමයක් විය හැකි නමුත් එමගින් ඔබේ ආසාදනය සුව නොවේ. ඔබේ රෝග ලක්ෂණ ඇති කරන වෛරසයෙන් මිදීමේ කාර්යයේ වැඩි කොටසක් සිදු කරනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගිනි.

වාෂ්ප චිකිත්සාව භාවිතා කිරීමෙන් ඔබට යම් අපහසුතාවයක්, වේදනාවක් හෝ අසාදනයක් ඇති වුවහොත්, එය භාවිතා කිරීම නවත්වා ඔබේ රෝග ලක්ෂණ සමනය කිරීමට වෙනත් ක්‍රම භාවිතා කරන්න.

ඔබට සතියකට වඩා වැඩි කාලයක් දරුණු රෝග ලක්ෂණ ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවීම වඩාත් යෝග්‍ය වේ.

තවත් මෙවැනි වටිනා තොරතුරු සහිත ලිපියකින් නුදුරේදීම හමුවෙමු...

References:
https://pubmed.ncbi.nlm.nih.gov/3303983/

https://www.healthline.com/health/steam-inhalation

Article by:-
Nimesha Sandaruwan
Heshani Jayarathne

ලෝක වකුගඩු දිනය සෑම අවුරුද්දකම මාර්තු මස 10වැනි දින සමරනු ලබයි.  මෙම ලිපිය මගින් මූලික කරනු කීපයක් පිළිබඳව සාකච්ඡා කරමු....
10/03/2022

ලෝක වකුගඩු දිනය සෑම අවුරුද්දකම මාර්තු මස 10වැනි දින සමරනු ලබයි. මෙම ලිපිය මගින් මූලික කරනු කීපයක් පිළිබඳව සාකච්ඡා කරමු.

ශරීරයේ වකුගඩු පිහිටා ඇත්තේ උදර කුහරයේ පිටුපස බිත්තියට ආසන්නව කොඳු ඇට පෙළේ දෙපස හිනට ඉහළිනි. වම්පස වකුගඩුව දකුණු පසට වඩා තරමක් ඉහළින් පිහිටා තිබේ. තරමක් සංකීර්ණ ව්‍යුහයකින් හා වඩාත් හොඳ රුධිර සැපයුමකින් යුක්තය.

වකුගඩු වල කාර්යභාරය?

ආහාර ජීරණය, මාංශ පේශි ක්‍රියාකාරිත්වය සහ රසායනික ද්‍රව්‍ය හෝ ඖෂධවලට නිරාවරණය වීමෙන් පසු අනවශ්‍ය/අහිතකර අපද්‍රව්‍ය රුධිරය පෙරීම මගින් මුත්‍රා හරහා ඉවත් කිරීම.
රුධිරයේ ජලය සහ ඛනිජ ලවණ (සෝඩියම්, පොටෑසියම් සහ පොස්පරස් වැනි) සමතුලිතතාවයක් තබා ගැනීම.
ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමට දායක වීම.
රතු රුධිර සෛල නිපදවීම උත්තේජන කරන erythropoietin නම් රසායනිකය සෑදීම.
අස්ථි සෞඛ්‍යය සහ වෙනත් දේ සඳහා අවශ්‍ය විටමින් D නිපදවීම.

වකුගඩු රෝගය යනු කුමක්ද?

වකුගඩු රෝග යනු වකුගඩුවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය දුර්වල වීමය.
වකුගඩු රෝග මගින් රුධිරය පිරිසිදු කිරීමට, රුධිරයෙන් අමතර ජලය පෙරීමට, රුධිර පීඩනය පාලනය කිරීමට ඇති හැකියාව අඩාල වීමයි. තවද රතු රුධිර සෛල නිෂ්පාදනයට සහ අස්ථි සෞඛ්‍යයට අවශ්‍ය විටමින් D නිපදවීමේ ක්‍රියාවලියටද බලපෑ හැකිය.

වකුගඩු වලට හානි වූ විට, පරිවෘත්තිය අපද්‍රව්‍ය සහ තරල ශරීරය තුළ ගොඩ නැගිය හැක. එමගින් වළලුකර ඉදිමීම, ඔක්කාරය, දුර්වල නින්ද සහ හුස්ම හිරවීම ඇති කළ හැක. ප්‍රතිකාර නොමැතිව, හානිය වඩාත් නරක අතට හැරිය හැකි අතර වකුගඩු අවසානයේ අක්‍රීය විය හැක. එය බරපතල වන අතර, එය ජීවිතයට තර්ජනයක් විය හැකිය.

වකුගඩු රෝග ඇතිවීමට හේතු

තාවකාලික වකුගඩු රෝගයට හේතු:
(වකුගඩු හදිසියේ අකර්මණ්‍ය වීම)

ප්‍රධාන හේතු වන්නේ:
වකුගඩු වලට රුධිර සැපයුම ප්‍රමාණවත් නොවීම.
වකුගඩු වලට සෘජු හානි සිදුවීම.
දීර්ඝ කාලයක් මුත්‍රා පිට නොකිරීම.

ඉහත හේතු වලට හදිසි අනතුරකදී අධික රුධිර වහනය, විජලනය, කම්පනය
සමහර ඖෂධ, වකුගඩු වලට සෘජුවම හානි කරන ඇතැම් විෂ ද්රව්ය (සර්ප විෂ), ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ( ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමාගේම ශරීරයට එරෙහිව ක්‍රියා කිරීම), හෘදයාබාධ හෝ අක්මාව අකර්මණ්‍ය වීම වැනි කරුණු බලපෑ හැකිය.

නිදන්ගත වකුගඩු රෝගයට හේතු:
වකුගඩු මාස 3 කට වඩා හොඳින් ක්‍රියා නොකරන විට, එය නිදන්ගත වකුගඩු රෝගය ලෙස හඳුන්වති. මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොතිබිය හැකිය, නමුත් ප්‍රතිකාර කිරීම පහසු අවධිය එයයි.

දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වඩාත් ආසන්නම හේතුවේ. කාලයත් සමඟ අධික රුධිර සීනි මට්ටම වකුගඩුවලට හානි කළ හැක. තවද අධි රුධිර පීඩනය වකුගඩු රුධිර නාලවල හානි ඇති කරයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග, HIV , AIDS, හෙපටයිටිස් B, සහ හෙපටයිටිස් C වැනි දිගුකාලීන වෛරස් රෝග, Pyelonephritis (වකුගඩු තුළ මුත්‍රා ආසාදන- ආසාදනය සුව වන විට කැළැල් ඇති විය හැක. එය කිහිප වතාවක් සිදු වුවහොත් වකුගඩු හානි විය හැක.), වකුගඩු වල කුඩා පෙරහන් එක්ක වන ගුච්චිකා වල ඇතිවන ආසාදන, Polycystic වකුගඩු රෝගය ( වකුගඩු වල තරල පිරවූ මලු ලෙස සෑදෙන, ජානමය තත්වයක්) යන කරුණුද නිදන්ගත වකුගඩු රෝග වලට හේතු විය හැක.
මත්ද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය (ඊයම් විෂ වීම, ibuprofen සහ naproxen වැනි NSAIDs (nonsteroidal anti-inflammatory drugs) සහ IV street drugs ඇතුළු සමහර ඖෂධ දිගුකාලීන භාවිතය, වකුගඩු වලට ස්ථිරවම හානි කළ හැක.

වකුගඩු රෝග ලක්ෂණ
අහිතකර තත්ව වලට වකුගඩු වලට අනුවර්තනය විය හැක. නමුත් එම අහිතකර තත්ව දීර්ඝ කාලිනව බලපෑම් ඇති කිරීමේදී වකුගඩු හානිය සෙමෙන් නරක අතට හැරී කාලයත් සමඟ රෝග ලක්ෂණ සෙමෙන් පෙන්නුම් කරනු ඇත. නමුත් සමහර විට රෝගය උත්සන්න වන තුරු රෝග ලක්ෂණ දැනෙන්නේ නැත.

එවිට පහත ලක්ෂණ දැකිය හැකිවේ:
අධි රුධිර පීඩනය
ඔක්කාරය හා වමනය
ආහාර රුචිය නැති වීම
මුඛයේ ලෝහමය රසයක දැනීම
තෙහෙට්ටුව
සිතීමේ ගැටළු
නින්ද ගැටළු
මාංශ පේශි කැක්කුම
පාද සහ වළලුකර ඉදිමීම
කැසීම
පපුවේ වේදනාව
හුස්ම හිරවීම

රෝග විනිශ්චය:
වෛද්‍යවරයා පවුලේ රෝග ඉතිහාසය, භාවිතා කරන ඖෂධ මොනවාද සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩුවෙන් මුත්‍රා පිටවීම යන කරුණු විමසා ඊට පසු, ශාරීරික පරීක්ෂණයක් පවත්වනු ඇත.
තවදුරටත් තහවුරු කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ නියම කරනු ඇත.
රුධිර පරීක්ෂණ (ඔබේ රුධිරයේ අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණ දැයි බැලීමට)
මුත්‍රා පරීක්ෂණ ( වකුගඩු අකර්මණ්ය වීම පරීක්ෂා කිරීම)
Ultra Sound වැනි පරීක්ෂණ, වකුගඩු රූප ගත් කිරීම, වකුගඩු බයොප්සි පරීක්ෂණයක් (එහිදී ඔබේ වකුගඩුවේ පටක පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයකට යවා ඔබේ වකුගඩු ආබාධ ඇතිවීමට හේතුව සොයා බලනු ලබයි.)

ප්‍රතිකාර කිරීම:

සමහර වකුගඩු රෝග ආකාර සුව කළ හැකිය. මෙම ප්‍රතිකාරවල අරමුණු වන්නේ රෝග ලක්ෂණ ලිහිල් කිරීම, රෝගය නරක අතට හැරීම වැළැක්වීම සහ සංකූලතා අවම කිරීමයි. සමහර අවස්ථාවලදී, ප්‍රතිකාර වකුගඩු ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ. නිදන්ගත වකුගඩු රෝගය සඳහා ස්ථීර සුවයක් ලබා ගත නොහැක.

සමහර අවස්ථාවලදී, ඔබේ රෝගී තත්ත්වයට හේතුව පාලනය කළ විට පවා, වකුගඩු රෝගය නරක අතට හැරෙනු ඇත.

වකුගඩු වලට අපද්‍රව්‍ය රඳවා තබා ගත නොහැකි නිසා අවසාන අදියරේ පහත ප්‍රතිකාර වලට යොමු වනු ඇත.

ඩයලිසිස්: වකුගඩු වලට තවදුරටත් රුධිරය පෙරා පිරිසිදු කළ නොහැකි වූ විට ශරීරයෙන් අපද්‍රව්‍ය සහ අමතර තරල ඉවත් කරනු ලැබේ. මෙහිදී යන්ත්‍රයක් මඟින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ අමතර තරල ඉවත් කරයි.


වකුගඩු බද්ධ කිරීම: ශල්‍ය වෛද්‍යවරයෙක් වකුගඩුව පරිත්‍යාගශීලියෙකුගෙන් ලබාගත් නිරෝගී වකුගඩුවක් සමඟ ප්‍රතිස්ථාපනය කරයි. මෙම පරිත්‍යාගශීලියා ජීවත්ව සිටින හෝ මිය ගිය අයෙකු විය හැක. ක්රියා පටිපාටියෙන් පසු, ඔබේ ශරීරය ඔබේ නව වකුගඩුව ප්රතික්ෂේප නොකරන බවට වග බලා ගැනීම සඳහා ඔබ ඔබේ ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගත යුතුයි.

මූලාශ්‍ර:
https://www.cdc.gov/kidneydisease/basics.html
https://en.m.wikipedia.org/wiki/World_Kidney_Day

Article by:
M.A.M.Anfas
Malsha Devindi

Stool Sample Tests.Stool sample test යනු ආහාර ජීර්ණ පද්ධතියට බලපාන යම් යම් රෝගී තත්වයන් හඳුනා ගැනීමට උපකාරී වන මල ද්‍රව්...
06/03/2022

Stool Sample Tests.

Stool sample test යනු ආහාර ජීර්ණ පද්ධතියට බලපාන යම් යම් රෝගී තත්වයන් හඳුනා ගැනීමට උපකාරී වන මල ද්‍රව්‍ය සම්බන්ධ සිදු කරන පරීක්ෂණ මාලාවකි. මෙම රෝගී තත්වයන්ට ආසාදන (පරපෝෂිතයින්, වෛරස් හෝ බැක්ටීරියා වැනි), දුර්වල පෝෂක අවශෝෂණ හෝ පිළිකා ඇතුළත් විය හැකිය. Stool සාම්පලයක් විශ්ලේෂණය කිරීම සඳහා පිරිසිදු භාජනයකට stool සාම්පලයක් එකතු කර රසායනාගාරයට යවනු ලැබේ. රසායනාගාර විශ්ලේෂණයට අන්වීක්ෂීය පරීක්‍ෂණය, රසායනික පරීක්ෂණ සහ ක්ෂුද්‍රජීව විද්‍යාත්මක පරීක්ෂණ ඇතුළත් වේ. Stool වල වර්ණය, ඝනත්වය, ප්‍රමාණය, ගන්ධය සහ සෙම තිබේද යන්න මෙහිදී පරීක්‍ෂා කෙරේ. අන්වීක්ෂීය රුධිර කැටි, මේදය, පිත, සුදු රුධිරාණු සහ සීනි සදහා stool සාම්පල පරීක්ෂණය සිදු කළ හැකිය. Stool සාම්පලයේ pH අගය ද මැනිය හැකිය. මීට අමතරව ආසාදන තත්ව හදුනා ගැනීමේදී බැක්ටීරියා රෝපණය සදහා stool සාම්පල භාවිතා කරනු ලබයි.

◼ Stool sample test සිදු කරනු ලබන්නේ:‍

◾ ආහාර ජීර්ණ පද්ධතියේ, අක්මාවේ සහ අග්න්‍යාශයේ රෝග හඳුනා ගැනීම සදහා -
සමහර එන්සයිම ( trypsin හෝ elastase වැනි) stool තුළ තක්සේරු කිරීම මගින් අග්න්‍යාශය කෙතරම් හොඳින් ක්‍රියා කරනවාද යන්න දැන ගත හැකිය.
◾ දිගු කලක් පවත්නා පාචනය, රුධිරය සමග පාචනය, ඔක්කාරය, වමනය, ආහාර අරුචිය, උදරය ඉදිමීම, උදරයේ වේදනාව සහ උණ වැනි ආහාර ජීර්ණ පද්ධතියට බලපාන රෝග ලක්‍ෂණ වලට හේතුව සොයා ගැනීම සදහා
◾ අන්වීක්ෂීය රුධිර කැටි පරීක්‍ෂා කිරීමෙන් මහා අන්ත්‍රයේ පිළිකා නිර්ණය කිරීම
◾ Pinworms හෝ Giardia වැනි පරපෝෂිතයන් සොයා ගැනීමට
◾ බැක්ටීරියා, දිලීර හෝ වෛරස් වැනි ආසාදනයන්ට හේතුව සොයා ගැනීම සදහා
◾ ආහාර ජීර්ණ පද්ධතියෙන් පෝෂ්‍ය පදාර්ථ දුර්වල ලෙස අවශෝෂණය කර ගැනීම (malabsorption syndrome) පරීක්‍ෂා කිරීමට. මෙම පරීක්ෂණය සඳහා පැය 72 ක කාලයක් තුළ පිටවන සියලුම stool එකතු කර එහි අඩංගු මේද ප්‍රමාණය පරීක්‍ෂා කෙරේ.

◼ පරීක්ෂණය සදහා සූදානම් වන ආකාරය:

◾ බොහෝ ඖෂධ වලට මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵලය වෙනස් කළ හැකිය. ඔබට සිදුකිරීමට ඇති stool sample test කෙබඳුද යන්න මත පදනම්ව, වෛද්‍ය උපදෙස් මගින් යම් යම් ඖෂධ ගැනීමෙන් වැළකීමට ඔබට සිදු වේ.
◾ පරීක්ෂණයට පෙර සති 1 සිට 2 දක්වා ඔබට ප්‍රත්‍යාම්ල ඖෂධ, දිලීර නාශක ඖෂධ, ප්‍රතිජීවක, විරේක හෝ ප්‍රතිවිරේක ඖෂධ ගැනීම නතර කිරීමට අවශ්‍ය විය හැකිය.
◾ ඔබ ගන්නා සියලුම ඖෂධ වට්ටෝරු පිලිබදව ඔබේ වෛද්‍යවරයාට පැවසීමට වග බලා ගන්න.
◾ මෑතකදී බේරියම් ප්‍රතිවිරෝධක ද්‍රව්‍ය භාවිතා කරමින් එක්ස් කිරණ පරීක්ෂාවක්(X-ray test) සිදු කරන ලද නම් හෝ මෑත සතිවල රටින් පිටත සංචාරය කර ඇත්නම් හෝ ඒ පිලිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීමට වග බලා ගන්න. පරීක්ෂණයේදී ගැටලුවක් ඇති කළ හැකි පරපෝෂිතයන්, දිලීර, වෛරස් හෝ බැක්ටීරියා සොයා බැලීමට මෙය ඔබේ වෛද්‍යවරයාට උපකාරී වේ.
◾ ඔබේ stool සාම්පලයේ රුධිරය පරීක්‍ෂා කරන්නේ නම්, පරීක්‍ෂණයට පෙර දින 2 සිට 3 දක්වා යම් යම් ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මෙය රඳා පවතින්නේ ඔබ භාවිතා කරන stool test වර්ගය මත ය. ඔබේ ඔසප් කාලය තුළදී හෝ අර්ශස් රෝගය හේතුවෙන් රුධිර වහනය වීමක් සිදු වුවහොත් පරීක්‍ෂණය නොකරන්න.

◼ පරීක්ෂණය සිදු කරන කරන ආකාරය:

◾ Stool සාම්පල නිවසේදී, ඔබේ වෛද්‍යවරයාගේ කාර්යාලයේදී, වෛද්‍ය සායනයකින් හෝ රෝහලෙන් රැස් කර ගත හැකිය. ඔබ සාම්පල නිවසේදී එකතු කළහොත් ඔබට දිනපතා භාවිතා කිරීම සඳහා stool එකතු කිරීමේ කට්ටල ලබා දෙනු ඇත. සෑම කට්ටලයකම සාම්පල ලබා ගන්නා කූරු සහ ජීවාණුහරිත බදුන් දෙකක් ඇතුළත් වේ.
◾ දින 1 සිට 3 දක්වා ඔබට නියැදි එකකට වඩා එකතු කිරීමට අවශ්‍ය විය හැකිය. සෑම දිනකම එකම ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්න.

◼ සාම්පල එකතු කිරීම පහත පරිදි සිදු කරන්න:

◾ Stool සාම්පලයට මුත්‍රා පිට නොවන පරිදි, stool එකතු කිරීමට පෙර මුත්‍රා පිට කරන්න.

◾ ඔබ stool රැස් කිරීමට පෙර අත්වැසුම් පැළඳ ගන්න. ආසාදන පැතිරෙන විෂබීජ stool වල අඩංගු විය හැක. ඔබේ අත්වැසුම් ඉවත් කළ පසු ඔබේ අත් හොඳින් සෝදා ගන්න.

◾ Stool සාම්පලය (මුත්‍රා රහිතව) වියළි බදුනකට රැස් කරන්න. stool රැස් කිරීම සඳහා ප්ලාස්ටික් බේසමක් ඔබට භාවිතා කල හැක.
🔹 ඝන හෝ දියර stool රැස් කර ගත හැකිය.
🔹 ඔබට පාචනය ඇත්නම්, විශාල ප්ලාස්ටික් බෑගයකට මල ද්‍රව්‍ය රැස්කර පසුව බෑගය ප්ලාස්ටික් භාජනයට දැමීම සිදු කල හැකියි.
🔹 ඔබ මලබද්ධයට ගොදුරු වී ඇත්නම් ඔබට කුඩා e***a භාවිතා කල හැකිය.
🔹 වැසිකිළි බඳුනෙන් සාම්පලය රැස් නොකරන්න.
🔹 නියැදිය සමඟ වැසිකිලි කඩදාසි, ජලය හෝ සබන් මිශ්‍ර නොකරන්න.

◾ බදුන පියනෙන් හොදින් වසා ඔබේ නම, ඔබේ වෛද්‍යවරයාගේ නම සහ stool සාම්පලය රැස් කළ දිනය සදහන් කර ලේබල් කරන්න. සෑම දිනකම එකතු කිරීම සඳහා එක් බදුනක් භාවිතා කරන්න. ඔබේ වෛද්‍යවරයා ඔබට වෙනත් උපදෙස් ලබා නොදුනහොත් දිනකට එක් වරක් පමණක් සාම්පලයක් එකතු කරන්න.

◾ මුද්‍රා තැබූ බදුන හැකි ඉක්මනින් ඔබේ වෛද්‍යවරයාගේ කාර්යාලයට හෝ විද්‍යාගාරයට ගෙන යන්න. නියමිත කාලය තුළ ඔබේ නියැදිය විද්‍යාගාරයට ලබා දිය යුතුය. සාම්පලය නියමිත වේලාවට රසායනාගාරයට ලබා ගැනීමට ඔබට අපහසු වේ යැයි ඔබ සිතන්නේ නම් ඔබේ වෛද්‍යවරයා ඒ පිලිබදව දැනුවත් කරන්න.

◾ ඔබේ වෛද්‍යවරයාගේ කාර්යාලයේදී හෝ රෝහලේදී stool සාම්පල රැස් කරන්නේ නම්, ප්ලාස්ටික් භාජනයට stool රැස් කරනු ලැබේ. රසායනාගාර විශ්ලේෂණය සඳහා සෞඛ්‍ය වෘත්තිකයෙක් නියැදිය ඇසුරුම් කරයි.

◾ සාම්පල මේද සඳහා පරීක්‍ෂා කරන්නේ නම් ඔබට දින 3 ක් එක දිගට stool සාම්පල එකතු කිරීමට අවශ්‍ය වේ.එහිදී පළමු දිනයේ උදෑසනම ඔබ stool එකතු කිරීමට පටන් ගන්න. සාම්පලය විශාල භාජනයකට දමා ශීතකරණයේ තැබීම සිදුකරන්න.

◾ රටින් බැහැරව සංචාරය කිරීමෙන් පසු ආහාර දිරවීමේ රෝග ලක්‍ෂණ ඇත්නම් දින 7 සිට 10 දක්වා ඔබට stool සාම්පල කිහිපයක් ලබා දීමට සිදු විය හැකිය.

◾ ඇතැම් විට ගුද මාර්ගයට ඇතුළු කරන swab එකක් භාවිතයෙන් stool සාම්පලයක් එකතු කෙරේ. Swab එක ගුද මාර්ගය තුළට ඇතුළු කර මෘදු ලෙස කරකවා පසුව ඉවත් කර ගනී. එය පිරිසිදු, වියලි භාජනයක බහා වහාම රසායනාගාරයට යවනු ලැබේ.

◼ සාම්පල රැස් කිරීමේදී වේදනාවක් දැනේද?

Stool සාම්පලයක් රැස් කිරීමේදී වේදනාවක් නොමැත. ඔබ මලබද්ධයට ගොදුරු වී ඇත්නම් stool පිට කිරීමට වෙහෙසීම වේදනාකාරී විය හැකිය.
සාම්පලය එකතු කිරීම සඳහා ඔබේ සෞඛ්‍ය වෘත්තිකයා ගුද මාර්ගයට ඇතුළු කරන swab එකක් භාවිතා කරන්නේ නම්, ඔබේ ගුදමාර්ගය තුළට swab එක ඇතුළු කළ විට ඔබට යම් පීඩනයක් හෝ සුළු අපහසුතාවයක් දැනෙනු ඇත.

◼ අවදානම් තත්ව

ඕනෑම මලපහ සාම්පලයක රෝග බෝ කළ හැකි විෂබීජ අඩංගු විය හැකිය. ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා ඔබේ දෑත් හොදින් සේදීම සහ සාම්පලය ප්‍රවේශමෙන් හැසිරවීම සිදු කල යුතුය.

◼ පරීක්ෂණයේ ප්‍රතිඵල

Stool sample test මගින් pH අගය, ඔක්සිහරණ සාධක සහ මේදය සඳහා අගයන් පරීක්ෂා කළ හැකිය.
Stool test හි ප්‍රතිඵල සදහා සාමාන්‍යයෙන් අවම වශයෙන් දින 1 සිට 3 දක්වා ගත වේ.

සාමාන්‍ය තත්ව:

◾ stool දුඹුරු, මෘදු සහ මනාව ඝනත්වයෙන් ඇති බව පෙනේ.
◾ stool සාම්පලයේ ලේ, සෙම, සැරව, හානිකර බැක්ටීරියා, වෛරස්, දිලීර හෝ පරපෝෂිතයන් නොමැත.
◾ stool නළයක හැඩය ගනී.

අසාමාන්‍ය තත්ව:

◾ Stool කළු, රතු, සුදු, කහ හෝ කොළ පැහැයක් ගනී.
◾ Stool දියරමය ස්වරූපයෙන් හෝ ඉතා ඝන ස්වරූපයෙන් පවතී.
◾ Stool සාම්පලයේ ලේ, සෙම, සැරව, හානිකර බැක්ටීරියා, වෛරස්, දිලීර හෝ පරපෝෂිතයන් අඩංගු වේ.
◾ Stool වල එන්සයිම ( trypsin හෝ elastase වැනි) අඩු මාත්‍රාවන් වලින් අඩංගු වේ.

බොහෝ තත්ව මඟින් stool test වල ප්‍රතිඵලය වෙනස් කළ හැකිය. ඔබේ රෝග ලක්‍ෂණ හා ඔබේ සෞඛ්‍ය සමඟ සම්බන්ධ විය හැකි අසාමාන්‍ය ප්‍රතිඵල ගැන ඔබේ වෛද්‍යවරයා ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත.

◼ අසාමාන්‍ය අගයන්

◾ Pancreatitis, Sprue (celiac disease), Cystic fibrosis, සහ මේද අවශෝෂණයට බලපාන වෙනත් ආබාධ වැනි රෝග නිසා stool සාම්පලයේ මේද ප්‍රමාණය ඉහළ යා හැකිය.

◾ කාබෝහයිඩ්‍රේට් හෝ මේදය දුර්වල ලෙස අවශෝෂණය කර ගැනීම නිසා අඩු pH අගයන් ඇති විය හැක. ඉහළ pH අගයක් සහිත stool සාම්පල මගින් අන්ත්‍රයේ ප්‍රදාහයන් , අන්ත්‍රයේ පිළිකාවක් හෝ ප්‍රතිජීවක ඖෂධයක් භාවිත කිරීම අදහස් විය හැකිය.

◾ ආහාර ජීර්ණ පද්ධතියේ රුධිර වහනය හේතුවෙන් stool සාම්පලයේ රුධිරය අඩංගු විය හැක.

◾ Stool සාම්පලයේ සුදු රුධිරාණු තිබීම අන්ත්‍රයේ ප්‍රදාහයන් නිසා හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා විය හැකිය.

◾ කුඩා දරුවන් තුළ පාචනය ඇතිවීමට Rotaviruses බහුලව බලපායි. අතීසාරය පවතී නම් stool තුළ Rotaviruses තිබේදැයි සොයා බැලීමට පරීක්‍ෂණ සිදුකළ හැකිය.

◾ Stool සාම්පලයේ ඔක්සිහරණ සාධක ඉහළ මට්ටමක පැවතීම සමහර සීනි වර්ග ජීර්ණය කිරීමේ ගැටලුවක් විය හැකිය.

◾ අඩු මට්ටමක ඔක්සිහරණ සාධක sprue (celiac disease), cystic fibrosis හෝ මන්දපෝෂණය නිසා ඇති විය හැක. colchicine හෝ උපත් පාලන පෙති වැනි ඖෂධ භාවිතයද මීට හේතු විය හැක.

මෙවැනි තවත් වටිනා තොරතුරු සහිත ලිපියකින් නුදුරේදීම හමුවෙමු...

Reference: https://www.uofmhealth.org/health-library/aa80714
https://www.webmd.com/a-to-z-guides/what-is-a-stool-culture

Article by:-
Heshani Jayarathne
Madhu Nisansala

⭕ පිළිකා යනු මොනවාද ?⭕පිළිකා යනු සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර, විවිධාකාරයේ පිළිකා එ...
06/03/2022

⭕ පිළිකා යනු මොනවාද ?⭕

පිළිකා යනු සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර, විවිධාකාරයේ පිළිකා එම සෛලවලින් හටගනී. සියලුම පිළිකාවලට පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත්,පාලනයකින් තොරව ගුණනය වීමත් යන කරුණුය. කෙසේනමුත් විවිධ පිළිකා අතර විශාල වෙනස්කම් පවතී.

ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මෙම රෝගයෙහි පැරණිම අතීත ශිෂ්ඨාචාරය වු ඊජිප්තුවේ මමීහි අස්ථිවල හා සමේ පිළිකා ඇති වී තිබු බවට සාක්‍ෂි පවතියි. නමුත් මෙම මමී දහස් ගණනක් පරීක්ෂා කළද මෙම රෝගය සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ කිහිපයක් පමණි. ඉන් මෙම රෝගය පැරණි මුතුන් මිත්තන් ට බහුලව නොවැළදුණු බව පැහැදිලිය. නමුත් අද දවසේ මෙම රෝගය ව්‍යාප්තව නැති රටක් රාඡ්‍යයක් නොමැති තරම්ය. මෙම රෝගය ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන වර්ගයකට ඕනෑම වයස් කාණ්ඩයක මිනිසුන්ට වැළදෙනවා වගේම ගෘහාශ්‍රිත කොටි, වලස්,‍ ගෝන,මුව ආදී සතුන් අතරත් සමහර ගහ කොළවලද මෙම රෝගයෙහි ලක්ෂණ දක්නට ලැබේ.

ලෝකය පුරාම ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කර හමාරය. වාර්ෂිකව මිලියන 10ක් පමණ අළුතින් රෝගීන් බවට පත්වන නිසාත් ඉන් මිලියන 06කට වැඩි ප්‍රමාණයක් මිය යන නිසාත් පිළිකා තත්ව කලින් හදුනා ගැනීම වැදගත්ය. සිරුරේ ඇතිවන සෑම සෛල ගොනුවක්ම පිළිකාවක් නොවේ. නමුත් ඒ පිළිබඳව වෛද්‍ය පරීක්‍ෂණ මගින් තීරණය කරගැනීම වැදගත්ය. දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය හදුන්වන්නේ,ගඩු, බන්ධන, ඇට පලා ගෙඩි සුව කළ නොහැකි වණ ලෙසය. පිළිකා සෛල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්මය.අපේ සෛල න්‍යෂ්ටියේ වර්ණදේහ නම් වු ජාන කොටස් විශේෂයක් ඇත. එය සෑදී ඇත්තේ DNA වලිනි. DNA මගින් සෛල බෙදෙන විට එම DNA දෙගුණ වී දෙකට බෙදේ. පිළිකාව හට ගැනීමට හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන සෑදී ඇති DNA විකෘති වී එම ජානය පිළිකා ජානයක් බවට පත්වේ. සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම පිළිකාවට හේතුව වේ. මෙම රෝගය ඇතිවීම සදහා පුද්ගල චර්යාවද යම් ආකාරයකට බලපෑම් කරනු ලබයි.

⭕පිළිකා ඇතිවීම සදහා බලපාන හේතූන්⭕

▶️අධික දුම්කොළ භාවිතය
▶️අධික මත්ද්‍රවය භාවිතය
▶️රැකියා ආශ්‍රිත හේතූන් (ආකර/ලී කුඩු/ඇස්බැස්ටස්/ඩයි)
▶️පරිසර දූෂණය ආශ්‍රිත හේතුන් (වායු/ජලය/පස)
▶️ආහාර රටාවේ වෙනස්කම් (ක්‍ෂණික හා කෘත්‍රිම ආහාර)
▶️ඖෂධවල බලපෑම
▶️විකිරණ වල බලපෑම
▶️දීර්ග කාලීන ආසාදන
▶️ප්‍රතිශක්ති ඌණතා
▶️ප්‍රවේණිගත තත්වයන්

විශේෂයෙන්ම මෙම රෝගය බටහිර රටවලට ව්‍යාප්ත වීම වැඩි වශයෙන් දක්නට ලැබේ. වර්තමානයෙහි මෙම රෝගයෙහි ශීඝ්‍ර වර්ධනයට ප්‍රධාන හේතු ලෙස කිසිදු පාලනයකින් තොරව කෘතිම රසායනික පොහොර යොදා සකස් කළ ආහාර භාවිතය, අධික මේදය සහිත ආහාර (විශේෂයෙන්ම සත්ව මේදය),වඩා පවිත්‍ර හා පිරිසැකසුම් කළ ආහාර (නිවුඩ්ඩ ඉවත් කළ සහල්,රළු කොටස් ඉවත් කළ සිනි) කල් තබා ගැනීමේ අරමුණින් විවිධ ලුණු වර්ග එක් කල ආහාර එනම් නයිට්‍රයිට හා නයිට්‍රේට, විවිධ කෘතිම වර්ණක, රසකාරක හා උත්තේජක යෙදු ආහාර,ආහාර කර්මාන්තයේ භාවිත කරන වෙනත් කෘතිම රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර, දිලිර හා වෙනත් ක්‍ෂුද්‍ර ජීවින් අඩංගු ආහාර, කෘමිනාශක හා වෙනත් විවිධ කෘෂි රසායනික ඇති ආහාර භාවිතය මේ සදහා හේතුවී ඇති බව දැන් සොයා ගෙන ඇත.

⭕පිළිකා වර්ග⭕

පිළිකා වර්ග 100කට වඩා පවතී. ඒවා එලෙස වර්ග කර ඇත්තේ කුමන වර්ගයේ සෛලයකින් පිළිකාව ඇරඹෙන්නේද යන්න පදනම් කරගෙනය. උදාහරණ වශයෙන් පියයුරු සෛලයක්, පෙනහළු සෛලයක්,ආදී ලෙසය.

සාමාන්‍යයෙන් එක් එක් පිළිකාවන් පහත දැක්වෙන කාණ්ඩ 3කින් එකකට අයත්වේ.

▶️ කාසිනෝමාවන් (carcinomas)

කාසිනෝමාවන් (carcinomas) යනු ශරීරය මතුපිට හෝ ග්‍රන්ථි ආස්තරනය කරනු ලබන සෛලවලින් හටගන්නා පිළිකාවන්ය.
උදාහරණ- සම සහ අන්ත්‍රය, මුඛය, ගැබ්ගෙල, ශ්වසන මාර්ගය ආස්තරණය කරන සෛල යනාදියයි.

▶️ සාකෝමාවන් (sarcomas)

සාකෝමාවන් (sarcomas)යනු අස්ථි හා මාංශ පේෂි වැනි සම්බන්ධක පටකවලින් හටගන්නා පිළිකාවන්ය.
උදාහරණ-ඔස්ට්යෝසාකෝමා (osteasarcoma) යනු අස්ථිවලින් හටගන්නා පිළිකාවන්ය.

▶️ ලියුකේමියාව (leukemia)

ලියුකේමියාව (leakemia) (රුධිරයෙහි සුදු රුධිරානු අධිකවීමේ රෝගය ) සහ ලිම්ෆෝමාව (lymphoma) ( වසා ගැටිතිවල මාත්සරික අර්බුදය ) යනු පිළිවෙලින් ඇටමිදුළු සහ වසා ගැටිතිවලින් හටගන්නා පිළිකාවන්ය.

වඩාත්ම බහුලව දක්නට ලැබෙන පිළිකාවන් වනුයේ : පියයුරු, පුරස්ථ ග්‍රන්ථි,අන්ත්‍රය සහ සම ආශ්‍රිත පිළිකාවන්ය.

පිළිකාව අද අසන්නට ලැබෙන රෝග අතුරින් ප්‍රධාන වූවකි. පිළිකා යන වචනය පවා ඇසීමට බෝහෝ දෙනෙකු බිය වෙති. මිනිසුන් එය දකින්නේ රෝගය වැළදීමෙන් මරණය නියත බව හා වේදනාකාරී විකෘති රෝගයක් ලෙසයි.නමුත් ඇත්තටම බොහෝ දෙනෙක් මෙම රෝගයට ගොදුරු වන්නේ නොසැලකිලිමත් බව සහ නොදැනුවත්කම නිසාය.මේ සදහා නියමිත කාලයේදී ප්‍රතිකාර කරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.බොහෝමයක් පිළිකා සහමුලින්ම සුව කළ හැක. නමුත් මේ පිලිබඳ මිනිසුන්ට ඇති දැනුම අවම වීම නිසා රෝගයෙන් මිය යන ප්‍රමාණය වැඩිවී ඇත. මේනිසා මෙය කල් තියා හදුනා ගැනීම වැදගත්ය. ඇතැම් පිළිකා වර්ග බොහෝ කාලයක් ශරීරය තුළ තිබී හදිසියේම ශිඝ්‍රයෙන් ව්‍යාප්තව රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. අතට අසුවන තරමේ සෙ.මී.01 ක පමණවු ඉතා කුඩා පියයුරු පිළිකාවක් පවා මිලියන 500ක පමණ පිළිකා සෛල ඇති බව සො‍යා ගෙන ඇත. එම සෛල මගින් ආසන්න පටක වගේම දුරස්ථ ස්ථානවල පටක පවා නතු කරගෙන පිළිකාවේ ද්විතීයික අවස්ථාවන් ඇති කරයි. ඒ නිසා ප්‍රතිකාර ගැනීම හැකි තරම් ඉක්මන් කිරීම වැදගත්ය. ප්‍රතිකාර කළ හැකි පිළිකාවක් වුණත් කල් ගත වුවහොත් අසාධ්‍ය තත්වයට පත් විය හැක.

⭕පිළිකා හදුනාගැනීමට වැදගත් වන ලක්ෂණ⭕

▶️ කල් පවතින කැස්සක් හෝ කට හඬ වෙනස් වීමක්
▶️සුව නොවන තුවාලයක්
▶️ගැටය, ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍ර වර්ධනයක්
▶️පියයුරුවල හෝ අන් තැනක ගැටයක් හෝ ඝන වීමක්
▶️යෝනි මාර්ගයේ අක්‍රමවත් ලේ වහනයක් හෝ ස්‍රාව වහනයක්
▶️මළ හෝ මුත්‍රා පහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ මළ සමග ලේ පහවීමක්
▶️කල් පවතින අජීරණ තත්වයක් හෝ ගිලීමේ අපහසුවක්
වැනි කරුණක් ඇති වුවහොත් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්ය.

එක් එක් පුද්ගලයාට අනුව පිළිකාවන් විවිධාකාර වේ.පිළිකා සදහා ප්‍රතිකාර කිරීමේදී එහි අවස්ථා හදුනා ගැනීම ඉතාමත් වැදගත් වේ.පිළිකාවේ සියුම් කොටස් කපා පරීක්‍ෂා කිරීමෙන් හා පිළිකා සෛල පැතීරීයන පටක(ඇටමිදුඵ)පරීක්‍ෂා කිරීමෙන් හෝ පිළිකා ග්‍රන්ථි කපා පරීක්‍ෂා කිරීමෙන් ප්‍රතිකාර සදහා පදනම සකසා ගත හැක.

පිළිකාවක් යනු සිරුරෙහි ඇති සෛල කාණ්ඩයක ඇතිවන රෝගී තත්වයකි. මෙහිදී එම අදාළ සෛල කාණ්ඩය එහි සාමාන්‍ය විභේදන සීමාවෙන් ඔබ්බට පාලනයකින් තොරව වර්ධනයක් පෙන්නුම් කරන අතර එම සෛල අවට ඇති පටක වෙතට ආක්‍රමණශීලි ලෙස ව්‍යාප්ත වීමෙන් ඒවා විනාශ කරන අතරම සිරුරෙහි වෙනත් ස්ථාන වෙත, වස‍ා පද්ධතිය හෝ රුධිරය මගින් පිළිකා සෛල ව්‍යාප්ත කෙරේ. ඉහත කී ලක්ෂණ තුන මගින් පිළිකාවක්, පිළිකාවක් නොවන වර්ධනයකින් වෙන්කර ගත හැකිය. පිළිකාවක් නොවන වර්ධනයක් එයට සීමා වන අතර අවට ඇති පටක වෙත ආක්‍රමණශීලි නොවන අතර සිරුරේ වෙනත් ස්ථාන වෙත එම සෛල ගමන් කිරීමක් සිදු නොවේ. බොහෝ පිළිකා‍ අවස්ථා වලදී ගෙඩියක් වැනි වර්ධනයක් පෙන්නුම් කරන අතර ලියුකේමියාව වැනි පිළිකාවන්හිදී එසේ වීමක් සිදු නොවේ.

⭕පිළිකාවක් ඇති විය හැක්කේ කාටද?⭕

පිළිකාවන් සියලුම වයස් කාණ්ඩ වලට ඇති විය හැකිය. නූපන් කළලයකට පවා‍ පිළිකාවක් ඇති විය හැකි නමුත් වයස් ගත වීමත් සමගම පිළිකා ඇති වීමේ අවධානම හා බහුලතාවය ඉහළ යයි. පිළිකාවන් මගින් සියලුම මරණ වලින් 13% කට වග කියනු ලැබේ. ඇමරිකානු පිළික‍ා සංගමය මගින් කළ අධ්‍යයනයකට අනුව වසර 2007 දී ‍ලොව පුරා පිළිකා නිසා සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන 7.6 කි. මිනිසුන්ට හැරුනු කළ සතුන්ට හා ශාක වලටද විවිධ වර්ගයේ පිළිකාවන් ඇතිවිය හැකිය.

⭕පිළිකා අවම කර ගන්නේ කෙසේද?⭕

▶️දුම්කොළ,දුම්වැටි හා අධික මත් පැන් භාවිතය අවම කිරීම
▶️පළිබෝධනාශක,රසකාරක,වර්ණකාරක හා කෘතිම දෑ රහිත ස්වාභාවික එළවළු සහ පළතුරු ආහාරයට එක්කර ගැනීම
▶️ප්‍රමාණවත් ව්‍යායාම සහ ක්‍රියාශීලි ජීවන රටාවක් අනුගමනය කිරීම
▶️සැහැල්ලු මනසකින් දිවි ගෙවීම
▶️නිවැරදි ලිංගික චර්යා අනුගමනය
▶️අවුරුදු 35 ඉක්මවු කාන්තාවන් පැප් පරීක්‍ෂණය සදහා යොමු වීම
▶️ස්වයං මුඛ සහ පියයුරු පරීක්ෂා කර ගැනීම
▶️පිළිකා අනතුරු ඇඟවීම් ලකුණු පිළිබද නිතර අවධානයෙන් සිටීම සහ එවැනි විටක වෛද්‍ය උපදෙස් ගැනීම වැනි පුරුදු මගින් පිළිකා රෝගය පමණක් නොව හෘද රෝග,දියවැඩියාව වැනි රෝග ද වළක්වාගත හැක.
බොහෝ පිළිකා මුලින්ම හදුනා ගනු ලබන්නේ රෝග ලක්ෂණ හෝ පූර්ව පිළිකා තත්වයක් තිබිය හැකි අසාමාන්‍ය සෛල හෝ පිළිකා සලකුණු (Tumor markers) මතුවීම නිසා පරීක්ෂා කිරීම මගිනි.එහිදී රෝග නිර්ණය සදහා විවිධ විද්‍යාගාර පරීක්ෂණ සිදුකරයි.රුධිරය, මූත්‍රා හෝ අනෙකුත් ශරීර තරල හෝ පටක සාම්පල භාවිතයෙන් සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණ සිදුකෙරේ.

◾රුධිර පරීක්ෂණ (Blood test)
පිළිකා හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේදි රුධිර පරීක්ෂණ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය ඇතුළුව ශරීරයේ සමස්ථ සෞඛ්‍යම තීරණය කිරීමට රුධිර පරීක්ෂණ ප්‍රයෝජනවත් වනවා පමණක් නොව, රුධිරයේ ඇතැම් රසායනික ද්‍රව්‍ය සහ ප්‍රෝටීන පිළිබඳ පරීක්ෂා කිරීමෙන්ද පිළිකා හදුනා ගැනීමට උපකාරී වේ.

◾සම්පූර්ණ රුධිර ගණන පරීක්ෂාව (Complete blood count test / CBC test)
මෙහිදී රුධිර ප්‍රවාහයේ සංසරණය වන රුධිර සෛල ගණන මනිනු ලැබේ. සමහර පිළිකා රෝගයන්හි ප්‍රතිකාර මගින් රුධිර ප්‍රමාණය තාවකාලිව අඩු කළ හැකි බැවින් පිළිකා රෝගියෙකුගේ රුධිර සෛල ගණන නිරීක්ෂණය කිරීම සදහා පිළිකා රෝග විශේෂඥයින් බොහෝ විට ප්‍රතිකාරය පුරාවට CBC පරීක්ෂණ භාවිතා කරයි.

◾මූත්‍රා පරීක්ෂණ ( Urine Test )
මූත්‍රා සාම්පලයක ග්ලූකෝස්, ප්‍රෝටීන, රතු සහ සුදු රුධිරාණු ඇතුළුව මූත්‍රා සංඝටක පරීක්ෂාවෙන් මෙන්ම සාම්පලයේ ඇති සෛල පරීක්ෂවෙන් ද සමහර පිළිකා රෝග හදුනා ගත හැකිය. ප්‍රධාන වශයෙන් මූත්‍රාශ පිළිකා ද අමතරව වකුගඩු, පුරස්ථි ග්‍රන්ථි සහ ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා වර්ගද මෙහිදී හදුනා ගනු ලැබේ.

◾පිළිකා සළකුණු පරීක්ෂාව (Tumor marker tests)
පිළිකා සළකුණු පරීක්ෂාව යනු රුධිරයේ, මූත්‍රා වල හෝ සිරුරේ පටකවල දක්නට ලැබෙන ජෛව සලකුණු වන අතර ඒවා පරීක්ෂා කිරීම මගින් පිළිකා ඇති බව හදුනා ගැනීමට හැකිය.
එම සලකුණු ඇතිවන්නේ සිරුරේ පිළිකා තත්වයක් පවතින විට නිපදවන ද්‍රව්‍ය මගිනි. මෙම ද්‍රව්‍ය බොහොමයක් ප්‍රෝටීන වේ.නමුත්, මෙවැනි සලකුණු තිබීම පමණින්ම යම් පුද්ගලයෙකුට පිළිකාවක් ඇති බව නිශ්චිතව කිව නොහැක. එබැවින් ශරිරයේ පටක විශ්ලේෂණය සමග ඒකාබද්ධව පිළිකා සලකුණු පරීක්ෂා කිරීම සිදුකරයි. CA-125 පරීක්ෂණ ( CA-125 Test) යනු එවැනි පරීක්ෂණයකි. මෙමගින් පුද්ගලයෙකුගේ රුධිරයේ ඇති පිළිකා ප්‍රතිදේහජනක 125 ( CA-125 ) ප්‍රමාණය මනිනු ලැබේ. CA-125 යනු ප්‍රෝටීනයක් වන අතර එය ජෛව සලකුණු කාරකයක් ලෙස ක්‍රියා කරයි. මෙම ප්‍රෝටීන පිළිකා සෛලවල විශේෂයෙන් ඩිම්බකෝෂ පිළිකා සෛලවල වැඩි සාන්ද්‍රණයකින් දක්නට ලැබේ. තවද පැලෝපීය නාල, අග්න්‍යාශය, ආමාශය, එන්ඩොමෙට්‍රියම, අන්නස්‍රෝතය, අන්ත්‍රය, අක්මාව, පියයුරු හා පෙනහළු ආශ්‍රිත පිළිකා වර්ග බොහෝමයක් CA-125 පරීක්ෂණ මගින් හදුනාගත හැකිය.

◾කාසිනෝඑම්බ්‍රියෝනික් ප්‍රතිදේහජනක පරීක්ෂණය ( Carcinoembryonic antigen / CEA test )
කාසිනෝඑම්බ්‍රියෝනික් ප්‍රතිදේහජනකය යනු නීරෝගී වැඩිහිටියන් තුළ සාමාන්‍යයෙන් නොමැති ප්‍රෝටීනයකි. එය පිළිකා සෛල මගින් නිපදවනු ලැබුවද, එය අක්මා රෝග සහ බඩවැල් ආශ්‍රිත රෝග වැනි වෙනත් තත්වයන් සමගද නිපදවිය හැකිය. කෙසේ නමුත් පිළිකා පවතින විට CEA, රුධිරයේ හෝ ශරීර තරලවල හදුනාගත හැකි බැවින් මෙම පරීක්ෂණය මගින් පිළිකා ඇති බව තහවුරු කරගත හැකිය. සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණය භාවිතා කරනුයේ මහා බඩවැලේ , ගුද මාර්ගයේ, පියයුරු හා අග්න්‍යාශ පිළිකා නිරීක්ෂණය කිරීම සදහාය.

◾පුරස්ථි ග්‍රන්ථි - විශේෂිත ප්‍රතිදේහජනක පරීක්ෂණය ( Prostate- specific antigen test / PSA test)
පුරස්ථි ග්‍රන්ථි විශේෂිත ප්‍රතිදේහජනක (PSA) පරීක්ෂණයකින් රුධිරයේ PSA මට්ටම මනිනු ලැබේ. පුරස්ථි ග්‍රන්ථිය PSA නිපදවන ප්‍රෝටීනයක් වන අතර එය ඉහළ මට්ටමක් වීම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක සලකුණක් විය හැක. රුධිරයේ ඉහළ PSA මට්ටමකදී පුරස්ථි ග්‍රන්ථියේ දැවිල්ල (prostatitis) සහ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම (Benign prostatic hyperplasia) වැනි පිළිකා නොවන තත්වයන් ද පෙන්නුම් කළ හැක. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ආශ්‍රිත රෝග ලක්ෂණ ඇති පිරිමින්ට ඩිජිටල් ගුද මාර්ග පරීක්ෂණයක් (DRE) සමඟ PSA පරීක්ෂණයක් කළ හැකිය. ජාතික පිළිකා ආයතනයට අනුව, පර්යේෂණවලින් පෙනී යන්නේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇති පිරිමින්ට අඩු PSA මට්ටමක් තිබිය හැකි අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා නොමැති පිරිමින්ට ඉහළ මට්ටමක තිබිය හැකි බවයි. ඉහළ PSA මට්ටමක් ඇති පිරිමින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට සත්‍ය ලෙසම පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇත. කෙසේ වෙතත්, කාලයත් සමඟ PSA මට්ටම වැඩි වීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා පෙන්නුම් කරයි. ඉහළ PSA මට්ටමක් ඇති සමහර පිරිමින් ක්‍රියාකාරීත්ව නිරීක්ෂණ යටතේ නිරීක්ෂණය කළ හැකි වන්නේ එබැවිනි. එයට නියමිත කාල පරාසයන් තුළ PSA පරීක්ෂාව ඇතුළත් වේ.

◾ශරීරයේ පටක විශ්ලේෂණය (Biopsy test)
මෙහිදී ශරීරයෙන් පටක කැබැල්ලක් හෝ සෛල නියැදියක් ඉවත් කර රසායනාගාරයක් තුළ විශ්ලේෂණය කිරීම මගින් පිළිකාවක් හෝ වෙනත් තත්වයක් තිබේද යන්න පරීක්ෂා කෙරේ.
X කිරණ වැනි රූප ගත කරන පරීක්ෂණ මගින් අසාමාන්‍ය සෛල ප්‍රදේශ හදුනා ගැනීමට උපකාරී වුවත්, පිළිකා සෛල පිළිකා නොවන සෛල වලින් වෙන්කර හදුනාගත නොහැකිය. එබැවින් නිශ්චිතවම රෝග විනිශ්චය කිරීමට ඇති හොදම පරීක්ෂණය වන්නේ පටක විශ්ලේෂණයයි. මෙහිදී ශරීරයෙන් පටක ලබාගන්නා ක්‍රියා පටිපාටි කිහිපයක් ඇත.
▪️ඇට මිදුළු පටක විශ්ලේෂණය ( Bone marrow biopsy )
සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණය ලියුකේමියාව (leukemia), ලිම්ෆෝමාව (lymphoma) පිළිකා ඇතුළු විවිධ රුධිර ගැටළු අනාවරණය කරගැනීමට භාවිතා කරයි. මෙහිදී දිගු සිහින් කටුවක් භාවිතයෙන් රෝගියාගේ උකුල් ඇටයේ පිටුපසින් ඇට මිදුළු සාම්පල ලබාගනී.
▪️එන්ඩෝස්කොපි පරීක්ෂාව (Endoscopy biopsy)
මෙහිදී ශරීරය තුළ ඇති ව්‍යුහයන් දැකීමට යොදා ගන්නා ආලෝකයක් සහිත තුනී, නම්‍යශීලී නලයක් (එන්ඩොස්කොපි) භාවිතයෙන් විශ්ලේෂණය සදහා කුඩා පටක සාම්පලයක් ලබා ගනී. මෙවැනි තුනී නළ මුඛය, ගුද මාර්ගය, මූත්‍රා මාර්ගය හෝ සමේ කුඩා කැපුමක් හරහාද ඇතුළත් කළ හැකිය. Endoscopy biopsy ක්‍රියාපටිපාටි සදහා උදාහරණ ලෙස මූත්‍රාශයේ ඇතුළතින් පටක එකතු කිරීමට සිස්ටොස්කොපි පරීක්ෂාව ( cystoscopy ), පෙනහළු ඇතුළතින් පටක ලබාගැනීමට බ්‍රොන්කෝස්කොපි පරීක්ෂණය ( bronchoscopy ), සහ බඩවැල් ඇතුළතින් පටක එකතු කිරීම සදහා කොලනොස්කොපි පරීක්ෂාව (colonoscopy) ඇතුළත් වේ.
▪️Needle biopsy
මෙහිදී ශරීරයේ සැක සහිත ප්‍රදේශයකින් සෛල නිස්සාරණය කිරීමට විශේෂිත කටුවක් භාවිතා කරයි. මෙය බොහෝවිට භාවිතා කරනුයේ සැක සහිත පියයුරු ගැටිති සහ විශාල වූ වසා ගැටිති වැනි සම හරහා දැකිය හැකි ගෙඩි මතය. X - ray වැනි රූපකරණ ක්‍රියාවලියක් සමග ඒකාබද්ධ වූ විට, සම හරහා දැනිය නොහැකි සැක සහිත ප්‍රදේශයකින් සෛල එකතු කිරීමට needle biopsy ක්‍රමය භාවිතා කරයි.
▪️චර්ම පටක විශ්ලේෂණය ( skin biopsy )
මෙමගින් සිරුරේ මතුපිටින් සෛල ඉවත් කරයි. මෙලනෝමා ( melanoma ) සහ අනෙකුත් පිළිකා ඇතුළු සමේ රෝග නිර්ණය කිරීම සදහා මෙම skin biopsy බොහෝ විට භාවිතා වේ.
▪️ශල්‍ය පටක විශ්ලේෂණය ( surgical biopsy )
අදාළ සෛල හෝ පටක වෙනත් biopsy ක්‍රියාපටිපාටි මගින් ලබාගත නොහැකි නම් හෝ වෙනත් පටක විශ්ලේෂණ ප්‍රථිඵල අවිනිශ්චිත නම්, ශල්‍යකර්මයක් මගින් පටක ලබාගැනීම සිදුකරයි. උදාහරණයක් ලෙස පියයුරු පිළිකා වල රෝග විනිශ්චය සදහා පියයුරු ගැටිත්තක් ඉවත් කිරීමේ සැත්කම් සහ ලිම්ෆෝමා (lymphoma) රෝග විනිශ්චය සදහා වසා ගැටිති ඉවත් කිරීමේ සැත්කම් ඇතුළත් වේ.

◾විකිරණ පරීක්ෂණ (Radiology tests)
පිළිකා සදහා වන විකිරණ පරීක්ෂණ මගින් සිරුරේ අභ්‍යන්තරයේ ‍ඡායාරූප ගතකිරීම සිදු කෙරේ. එමගින් පිළිකා හදුනා ගැනීමට, එය කෙතරම් දුරට පැතිරී ඇත්දැයි සොයා බැලීමට සහ පිළිකා ප්‍රතිකාර ක්‍රියාත්මක වේද යන්න සොයා බැලීමට භාවිතා කළ හැකිය. මෙම විකිරණ පරීක්ෂණ සිදු කරන්නේ ශරීරය හරහා X කිරණ, ශබ්ද තරංග, විකිරණශීලි අංශු හෝ චුම්භක ක්ෂෙත්‍ර වැනි ශක්ති ආකාර යැවීමෙනි. මෙහිදී ශරීරය තුළ සිදුවන දේ පිළිබඳව ඡායාරූප ලබා ගැනීම සදහා විවිධ පරීක්ෂණ භාවිතා කරනු ලැබේ.
උදා:- කිරණ ඡායාරූප ක්‍රම
- X කිරණ ( X- ray)
- Barium E***a
- Mammography
ස්කෑන් ක්‍රම ( Scan)
- MRI (Magnetic resonance imaging) scan
- CT ( Computed tomography )scan
- Nuclear medicine scans ( Bone scans, PET scans, Thyroid scans, MUGA scans)
- US ( Ultrasound ) scan

◾ CTC පරීක්ෂණ ( Cellsearch Circulating Tumor Cell /CTC test)
මෙය පිළිකා රෝග විශේෂඥයින්ට පියයුරු , මහා අන්ත්‍ර වල හෝ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති රෝගීන්ගේ තත්වය තක්සේරු කිරීමට උපකාරී වන සරල රුධිර පරීක්ෂණයකි.

නීරෝගී පුද්ගලයන්ගේ හෝ පිළිකා රෝග ලක්ෂණ හෝ පිළිකා සළකුණු නොමැති පුද්ගලයන්ගේ පිළිකාවක් තිබේද යන්න සොයා බැලීමට සිදු කරන පරීක්ෂණ ' පිළිකා පිරික්සුම් පරීක්ෂණ( Cancer screening tests) ' ලෙස හදුන්වයි. මෙම පරීක්ෂණ සැලසුම් කර ඇත්තේ පිළිකා වලට වඩාත් ප්‍රතිකාර කළ හැකි මුල් අවධියේදීම සොයා ගැනීමටයි. එබැවින් සමහර පිළිකා පිරික්සුම් පරීක්ෂණ සිදුකිරීමෙන් ඇතැම් පිළිකා මරණ අනුපාතය අඩුවන බව සොයාගෙන ඇත. උදාහරණ ලෙස මහා අන්ත්‍රයේ පිළිකා සදහා colonoscopy, පියයුරු පිළිකා සදහා Pap smear test ( ගැබ්ගෙලෙන් සෛල එකතු කර පරීක්ෂා කිරීම). සමහර පිරික්සුම් පරීක්ෂණ අධි අවදානමක් සහිත පුද්ගලයන්ට පමණක් සිදු කිරීමට නිර්දේශ කරනු ලැබේ. උදාහරණ ලෙස පියයුරු පිළිකා අවදානම වැඩි කාන්තාවන් සදහා පමණක් පියයුරු සදහා MRI ස්කෑන් පරීක්ෂණ සිදුකරයි.

මෙවැනි තවත් තොරතුරු රැගත් වටිනා ලිපියකින් නුදුරේදීම හමුවෙමු.

මූලාශ්‍ර: -
https://www.cancercenter.com/diagnosing-cancer/lab-tests
https://www.cancer.org/treatment/understanding-your-diagnosis/tests.html
https://www.mayoclinic.org/diseases-conditions/cancer/in-depth/biopsy/art-20043922
https://si.m.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F

Article by :-
Surammi Pathirana
Navodya Dhananjani

Address

Punchi Palama, Uduwila
Tissamaharama
82600

Opening Hours

Monday 06:30 - 11:30
14:30 - 19:30
Tuesday 06:30 - 11:30
14:30 - 19:30
Wednesday 06:30 - 11:30
14:30 - 19:30
Thursday 06:30 - 11:30
14:30 - 19:30
Friday 06:30 - 11:30
14:30 - 19:30
Saturday 06:30 - 11:30
14:30 - 19:30
Sunday 06:30 - 11:30
14:30 - 19:30

Telephone

+94769050671

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Blood Collection Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category