03/07/2024
❤
ඔබ නොදුටු ආයුර්වේදය!
ඈත අතීතයේ ශ්‍රී ලාංකිය ජනතාව නිරෝගි වීමට හේතු වූයේ ආයුර්වේදයයි/දේශීය වෙදකමයි. නමුත් වර්තමානයේ බහුතර ජනතාවට ආයුර්වේදය කෙරෙහි විශ්වාසයක් නොමැත. එයට හේතුව වර්තමාන ලාංකික ජනතාව ආයුර්වේදයේ සැබෑ තතු නොදන්නා නිසාය. එබැවින් ආයුර්වේදයේ නියම ප්‍රයෝජනය ගැනීමට ඔවුහු අපොහොසත් වී ඇත.
ආයුර්වේදය නැතහොත් දේශීය වෙදකම අතීතයේ සිට පවතින අතර රෝග හදුනාගැනීම සහ ප්‍රතිකාර සිදුකිරීමේදි පැරණි ක්‍රමයන්ම අනුගමනය කරන නිසා නව ක්‍රමයන් උපයෝගී නොකර නිසාත් වර්තමාන ලෙඩ රෝගවලට ප්‍රතිකාර නැත යන හැගීමෙන් ගොඩ වෙදකම ලෙසත් හැදින්වීමට බහුතර ජනතාව පෙළබී ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත වීමත් මෙම වෙදකමෙන් ජනතාව ඈත්වීමට හේතුවක් වී ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය නවීන තාක්ෂණය සහ මෙවලම් උපයෝගීතාවය, විවිධ වර්ගයේ ඖෂධ නවීන තාක්ෂණය භාවිතා කිරීමෙන් සොයා ගැනීම සහ නිෂ්පාදනය, දියුණු යැයි සම්මත රටවලින් ලංකාවට පැමිණීම සහ එවැනි රටවල පවතින නිසාත් දිනෙන් දින අලුත් වන නිසා එය නවීන වෙදකම ලෙසත් සලකයි. මෙලෙස සන්සන්දනාත්මක බැලීම නිසා දේශීය වෙදකම පිළිබදව ජනතාවගේ සිතෙහි පවතින්නේ මෙවැනි අදහස්ය. “ඉස්සර කාලේ වගේ නෙවෙයි, දැන් කාලේ හැදෙන ලෙඩ වලට ඔය ගොඩ බෙහෙත් බීලා හරියන්නෙ නැහැ. ඔය කෂාය හදන්න වේලාවක් නැහැ. පෙත්තක් බීපුවම ඉක්මනින් සුව වෙනවා. අපේ ඉංගිරිසි දොස්තර මහත්තයාත් කියනවා සිංහල බෙහෙත් වල තියෙන අරිෂ්ට සහ කෂාය වර්ග බොන්න එපා වකුගඩුයි අක්මාවයි නරක් වෙනවා කියලා. ඒ හින්දා බොන්න බයයි. තවම බටහිර වෙදකම වගේ විද්‍යාත්මකව පර්යේෂණ කරලා නැහැ. ඔන්න වයසට ගියාම වාත අමාරුවට තෙල් ටිකක් අතුල්ල ගන්න හොදා.” ආදී අදහස්ය.
අපේ පැරන්නෝ ශාරීරිකවත් මානසිකවත්, ආධ්‍යාත්මිකවත් සුවපත් කල මෙම අද්විතීය වෙදකම අද පත්කර ඇති සහ පත් වී ඇති තත්වය සෝචනීයයි. රොබට් නොක්ස් මහතා විසින් රචිත “එදා හෙලදිව” ග්‍රන්ථයේ සදහන් කර ඇත්තේ මේ රටේ සැවෝම වෛද්‍යවරුන් ලෙසයි. නමුත් වර්තමානයේ මිනිසුන් සැවෝම රෝගීන් බවට පත්වී ඇත. ගොඩ වෙදකම ලෙස සලකන මෙම ආයුර්වේද/සිංහල වෙදකමෙන් ජනතාව ඈත් වීම වර්තමානයේ මෙවැනි විවිධ වූ රෝගවලින් පීඩිතව සිටිමට ප්‍රබල හේතුවයි.
සැබැවින්ම ආයුර්වේදය යනු කුමක්ද? මෙහි ඉතා ගැඹුරු අර්ථයක් පවතින බව පැහැදිලිව අවබෝධය කර ගත යුතුයි. ආයුර්වේදය යන වචනයේ පද බිදීමට අනුව ආයු: වේදය, ආයුෂ පිළිබද විද්‍යාව ලෙස හදුන්වයි. අප උපතේ සිට මිය යන තෙක් ජීවිතය නිවැරදිව ආයුෂ වින්දනය කිරීම සදහා මග පෙන්වා දෙන්නාවූ ජීවන දර්ශණයකි.
ආයුර්වේදයේ ප්‍රධාන අරමුණු දෙකකි. එනම් පුද්ගලයකුගේ නීරෝගීකම රැක ගැනිම සදහාත්, රෝගී පුද්ගලයාව එයින් මුදවා ගැනීම සදහාත් අවබෝධය ලබා දීමය.
රෝගී පුද්ගලයාව එයින් මුදවා ගැනීම සදහා කල යුත්තේ කුමක්ද? ඒ පිලිබද සම්පූර්ණ වූ දැනුම ලබාදිය යුතුය. කුමන හෝ රෝගයකින් පීඩාවිදින පුද්ගලයකු වුවද; එයින් මුදවා ගැනීමට සම්පූර්ණ දැනීම ලබා දෙන, එනම්; එම රෝගය සදහා හේතු වූ කාරණා පිළිබදව දැනීම ලබා දෙන, රෝග ලක්ෂණ පිළිබදව- රෝග උත්සන්න වූ, රෝගය සුව වූ ලක්ෂණ පිළිබදව දැනීම ලබා දෙන, රෝගය සුවවීම සදහා සුදුසු හා නුසුදුසු ආහාර විහරණ ඖෂධ පිළිබදව දැනීම ලබා දෙන විද්‍යාවකි. රෝගය කුමක් වුවද එය අතීතයේ පැවතුනද, වර්තමානයේ පවතින ද, අනාගතයේ පැවතිය හැකි ඕනෑම රෝගයක් සදහා ප්‍රතිකාර පවතින සදාකාලීක වූ වෙදකමකි.
නීරෝගීතාවය රැක ගැනීම සදහා හේතු වූ කාරණා පිළිබදව දැනීම ලබා දීම මෙහි දෙවන අරමුණයි. නීරෝගීතාවය රැක ගැනීම පිළිබදව වඩාත් ගැඹුරෙන් විස්තර දක්වයි. එහිදි නීරෝගීතාවය පවතින බව තහවුරු වන ලක්ෂණ පිළිබදව දැනීම ලබා දෙන, නීරෝගීතාවය රැක ගැනීම සදහා සුදුසු හා නුසුදුසු ආහාර විහරණ ඖෂධ පිළිබදව දැනීම ලබා දෙන නිරෝගීව දීර්ඝ කාලයක් සැපවත් වූ ආයුෂය ගත කරන අයුරු පහදා දේ (ස්වස්ථ වෘත්ත). වැඩිමනත්ව පැහැදිලිව සදහන් කලහොත් පුද්ගලයෙකුගේ ජීවිත කාලය සැලකීමේදි; නිරෝගි දරුවෙක් ලොවට බිහි කිරීම සදහා සෘතුමතිය එනම් වැඩිවියට පත් ස්ත්‍රිය පිළිපැදිය යුතු පිළිවෙත් මෙන්ම ගැභිණිය විසින් ගර්භිනී කාලය තුල පිළිපැදිය යුතු පිළිවෙත්- (ගර්භනී පරිචර්යා), දරුවා බිහිකල පසු මවගේ සහ දරුවාගේ නිරෝගිකම සදහා පිළිපැදිය යුතු පිළිවෙත්- (සූතිකා පරිචර්යා), දේශගුණික සහ කාලගුණික විපර්යාස වලදී නිරෝගිබව රැක ගැනීම සදහා පිළිපැදිය යුතු පිළිවෙත්- (සෘතුචර්යා), උදෑසන අවදීයේ සිට නින්දට යන තෙක් දිනය තුලදී නිරෝගිබව රැක ගැනීම සදහා ආහාර, නින්ද, ස්නානය, ව්යායයාම ආදිය පිලිබදව පිළිපැදිය යුතු ආකාරය- (දිනචර්යා), සිත කය වචනය සංවර කරගෙන තමාගෙ මෙන්ම අන් අයගේ පැවැත්ම උදෙසා ක්‍රියා කලයුතු ආකාරය-(සද්වෘත්ත) පහදා දෙන ජීවිතයෙ සෑම අස්සක් මුල්ලක්ම ආවරණය වන පරිදි නිරෝගී වූ දීර්ඝ වූ ආයුෂය ලබා ගැනීම සදහා ප්‍රායෝගික ව පිලිපැදිය යුතු අංග සම්පූර්ණ විද්‍යාවකි. මාර්ගෝපදේශනයකි.
උපතෙ සිට මිය යන තෙක් ජීවත්වන කාලය ආයුෂ ලෙස හදුන්වයි. අප විදින ආයුෂයේ ගුණාත්මකතාවය අනුව ආයුෂයෝ වර්ග හතරකින් දක්වයි. හිත ආයුෂ, අහිත ආයුෂ, සුඛ ආයුෂ සහ දුඛ ආයුෂ යනුවෙනි.
සුඛ ආයුෂ සහ දුඛ ආයුෂ යනු කුමක් දැයි බලමු. ශාරීරික මානසික ලෙඩ වලින් තොරව යමක් කිරීමට වීරිය ඇති, නුවණ සහ යමක් අවබෝධ කරගැනීමේ ප්‍රඥාව ඇති, පංච ඉඳුරන්හි සංවර බව, බලය හා ශක්තිය ඇති, විවිධ කෑම් බීම්, ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් ආදිය භුක්ති විදීමට හැකියාව ඇති, තමා කැමති අයුරින් ජීවිතය වින්දනය කිරීමට හැකි ආයුෂය සැපයකි. එය සුඛ ආයුෂයි. මෙවැනි ආයුෂය වර්තමාන සමාජය තුල විරලය. බොහෝ දෙනා කුමන හෝ රෝගයකින් පීඩීතව සිටි. එය දුඛ ආයුෂයකි. ඉහතින් දක්වන ආකාරයට තමා කැමති අයුරින් හැසිරීමට නොහැකි, නිතරම විවිධාකාර රෝග වලින් පීඩා විදිමින් තමාට රිසි කෑම් බීම්, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් ආදිය භුක්ති විදිමට නොහැකි ආයුෂය දුඛ ආයුෂයි. මෙම ආයුෂ වර්ග දෙකෙන් අප සැවොම කැමති සුඛ ආයුෂය විදීමටය. මෙම දුඛ ආයුෂය සුඛ ආයුෂය බවට පත්කිරීමට මෙන්ම සදාකාලීනව සුඛ ආයුෂය වින්දනය කිරීමට ඉඩ සලසා දීම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අරමුණයි.
හිත ආයුෂ සහ අහිත ආයුෂ යනු පුද්ගලයකුගේ සිරුරට වඩා මනස පිළිබදව සැලකිලිමත් වීමයි. තමාට මෙන්ම තමා ජීවත් වන පරිසරයට හිතාහිත බවයි. සියලු සතුන්ගේ යහපත කැමති වන, අන්සතු දෙයින් වැලකුනු, ඇත්ත කතා කරන, සොයා බලා කටයුතු කරන, එකිනෙකා සමග නොගැටුන, ධර්ම අර්ථ කාම ඇසුරු කරන, පිදිය යුත්තන් පුදන, ගුණ නැණ බෙලෙන් යුතු පුද්ගලයන් ඇසුරු කරන්නාවූ, හොදින් පාලනය කළ කාමය, තණ්හාව, කෝපය, ඊර්ෂියාව, මානය ඇති සහ දානය, හික්මීම, භාවනාව, සන්සුන් ගමන ඇති, කරුණාව දයාව මෛත්‍රිය පිරුනු උපේක්ෂාව ඇති, මෙලොව සහ පරලොව පිළිබද නුවණින් සලකා බලා කටයුතු කිරීම හිත ආයුෂයි. මෙවැනි ආයුෂය වර්තමාන සමාජය තුල ඉතා දුර්ලබයි. සත්පුරුෂයෝ ලෙස හදුන්වන්නේ මොවුහුය. නමුත් සමාජය තුල සුලභව සිටින්නේ අසත්පුරුෂයෝය. තමාගේ පැවැත්ම සදහා අන් අයට පීඩා දෙන, අන්සතු දෙය තමා සතු කර ගැනීමට විවිධාකාර උපක්‍රම යොදන, අසත්‍ය පතුරුවන, තමාගේ බලය පැතිරීමට එකිනෙකා සමග ගැටෙන සහ එකිනෙකා තරහ කරවන, පාලනය කළ නොහැකි කාමය, තණ්හාව, කෝපය, ඊර්ෂියාව , මානය ඇති ආත්මය සහ පංච ඉන්ද්‍රිය පාලනය නොවූ ආයුෂය අහිත ආයුෂයි. මෙවැනි ආයුෂය තමාටත් හානියකි. අන් අයට මෙන්ම සමාජයටත් පිළිලයකි.
අතීතයේ සහ වර්තමානයේ ජනතාවගේ ආයුෂයන් ගැන පැහැදිලි වෙනසක් අවබෝධ වීමට රොබට් නොක්ස් මහතා විසින් රචිත ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වන “එදා හෙලදිව” ග්‍රන්ථයේ උපුටා ගැනීම් වැදගත්ය.ඒ පහලොස් වන සියවසට අයත් කාලයකි. එහි සදහන් පරිදි එවැනි කාලයක මෙම රටේ ජනතාවගේ ආයුෂ ගෙවීම කෙබදුදැයි බලමු.
“මෙම රටේ හැමෝම වෙද්දුය. කෂාය බෙහෙත් ගැන හා කැපුම් කෙටුම් පෑස්සුම් ගැන කාටත් සාමාන්‍ය පලපුරුද්දක් ඇත්තේය. ඔසු පිළියෙල කරන්නේ ගස් වැල්වල කොල පොතු ආදියෙනි; දරුවන් වැදු මව්වරුන්ට ඉගුරු ගම්මිරිස් ගොරකා ආදිය ගෙන සාදන කායම් හොද්දෙන් පිටස්තර වූ සෙසු බෙහෙතක් නැත; ඖෂධවලින් ලක්වැසියන්ට කිසිම අඩුවක් පාඩුවක් නැත. බෙහෙතක් ගතයුතු වූකල ඔවුන් යායුත්තේ කැලෑවටයි. එහි ඕනෑම බෙහෙතක් ඇත. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය; දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මෙම ඔසු වලින් සුවවන්නේය; මස් කෑමෙන් වැලකීම ඔවුන් ප්‍රධාන වශයෙන් පුරන සුචරිත ධර්මයකි. ඉතාම හොද ප්‍රණීත අහිංසක ආහාරය වූ කලී අල දලු පලා එළවළු බව ඔවුන්ගේ ඒකාන්ත ඇදහීමයි; ලක්වැසියන්ගේ පරමායුෂ අවු 80ය. අසූවේදීත් ඔවුහු දුර්වල නොවෙති. කෙතරම් මහලු වුවද ඔවුහු නිරෝගී ශරීර ඇත්තෝය; මත්පැන් පානය තදින්ම පිලිකුල් කරති. මෙරට තරුණයෝ සලෙලු ජීවිතයකට උපන්නෝ නොවෙති; සොරකම මෙරට වැසියෝ හෙළා දකිති. දුසිරිත් අතරින් ඔවුන් ඉතාම අඩු වශයෙන් යෙදෙන්නේ සොරකමෙහි බව කිව හැකිය; සියදිවි නසා ගැනීම හා මිනිමැරූම් මොවුන් අතර විරලය. මිනිසෙක් සියදිවි නසා ගත්විට ගම්මුන්ට දඩ නියම කරයි.”
මෙලෙස අපේ පැරන්නෝ ශාරීරිකවත් මානසිකවත්, ආධ්‍යාත්මිකවත් සුවපත් වීමේ අරුමය කුමක්ද? මෙම අද්විතීය වෙදකමය. මෙහි ඇති වඩාත් වටිනාම කරුණ නම් සුදු ජාතිකයෙකු විසින් මේ පිළිබදව සදහන් කිරිමයි.
වර්තමාන කාලයේ මෙම රටේ ජනතාවගේ ආයුෂ ගෙවීම කෙබදුදැයි ඔබ මොහොතක් සිතන්න. මෙම කාලයේදි රොබට් නොක්ස් මහතා නැවත පැමිණියොත් ඔහු මෙලෙස කියාවී,
“මෙම රටේ හැමෝම ලෙඩ්ඩුය. තමාගේ රටේ වෙදකම ගැන කොයි කාටවත් සාමාන්ය් පලපුරුද්දක් වත් නැත්තේය; ඖෂධවලින් ලක්වැසියන්ට කිසිම අඩුවක් පාඩුවක් නැත. බෙහෙතක් ගතයුතු වූකල ඔවුන් යන්නේ ෆාමසියටයි. එහි ඕනෑම බෙහෙතක් ඇත. දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මෙම ඔසු වලින් වැලදෙන බව ඔවුන් නොදන්නේය; ඉතාම හොද ප්‍රණීත ආහාරය වූ කලී මස් කෑම-කෘතිම ආහාර-ක්ෂණික ආහාර බව ඔවුන්ගේ ඒකාන්ත ඇදහීමයි. ගමේ ගොඩේ වැවෙන අල දලු පලා එළවළු වර්ග නීරස-පහත් ගොඩේ ආහාර වශයෙන් සලකති; ලක්වැසියන්ගේ පරමායුෂ අවු 60ය. ළමා, තරුණ වයසේදීත් ඔවුහු දුර්වල වෙති. කෙතරම් තරුණ වුවද ඔවුහු රෝගී ශරීර ඇත්තෝය. ප්‍රෙෂර්, ආතරයිටිස්, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, පිළිකා, වකුගඩු රෝග වලින් යුක්තය. උපදින දරුවත් කුමන හෝ රෝගයකින් පෙලේ; මත්පැන් පානය විනෝදාංශයකි; මෙරට තරුණයෝ සලෙලු ජීවිතයකට උපන්නෝ ම වෙති; සොරකම මෙරට වැසියන්ගේ සාමාන්ය දෙයකි. පොදු වැඩට, සමාජ සේවයට වෙන්වන දේ අතරින් වුවද ඔවුන් කොටසක් හොරා කති; සියදිවි නසා ගැනීම හා මිනිමැරූම් මෙරට වැසියන් අතර සුලබය. සියදිවි නසා ගැනීම අතර ලෝකයේ වාර්තාද උසුලයි. සියදිවි නසා ගැනීමට අනුබල දේ. සෑම දෙයකටම පාහේ වසවිස යොදයි.”
එකල ජනතාව ආයුර්වේදය/දේශීය වෙදකම සමග බද්ධ වී සිටීම නිසා මෙලෙස හිත වූ සුඛ වූ ආයුෂයන් භුක්ති වින්දේය. නමුත් වර්තමානය බොහෝ සෙයින් වෙනස්ය. බහුතරය අහිත වූ දුඛ වූ ආයුෂයන් භුක්ති විදීමින් සිටී.
වර්තමානයේ නිරෝගීතාවය සලකන්නෙ පුද්ගලයකුගේ උසට ඔබින බරක් පවතී නම්, ශරීරය තුල රෝගයන් නොපවති නම් ය. නමුත් ආයුර්වේදීය නිරෝගීතාවය අර්ථ දක්වන්නේ ශාරීරික පමණක් නොව, මානසෙහි, පංච ඉන්ද්‍රියෙ සහ ආත්මයේ නිරෝගීකමටයි. එවැනි වූ නිරෝගීතාවයකට පත්වීම, එනම් හිත වූ සුඛ වූ ආයුෂකින් යුත් පුද්ගලයෙකු බවට පත්වීම යනු, ඔහු පමණක් නොව සමාජයත් මුලු පරිසරයත් විශ්වයත් නිරෝගී කරවන්නෙකි.
අපි මනුෂ්‍යන් ලෙස විවිධ අරමුණු ඔස්සේ ජීවිතය ගතකලත් අවසානයේදී මිය යන බවද දන්නෙමු. මියයන මොහොතේ සුගතිගාමි වීමට වැඩසලසන යම් වෙදකමක් පවතීද එය ආයුර්වේදයයි. ආයුර්වේදයට අනුව අපගේ නිරෝගිකම පැවතිය යුත්තේ චතුර්වර්ග සම්පත්ති ලබාගැනීම උදෙසා බව ආයුර්වේද ලොවට දායාදකල උත්තමයෝ පවසති. මෙම සම්පත්ති වර්ග හතර කුමක්ද? එනම් (ධර්ම-) දැහැමි ජීවිතයක් ගතකරමින්, (අර්ථ-) ඒ තුලින් ආර්ථික දියුණුවක් උදාකරගෙන, (කාම-) ලෞකික සම්පත් සතුටින් භුක්ති විදිමින්, (මෝක්ෂ-) ආධ්‍යාත්මික දියුණුව ඇති කරගනිමින් මරණයෙන් පසු මෝක්ෂය හෝ නිර්වානය ලබා ගැනීමටය. අප ජීවිත කාලය තුල ලෞකික සැප සම්පත් ධාර්මිකව උපයා ගෙන එය බුක්ති විදිමින් ලෝකෝන්තර සුවය ලබා ගැනීමට මග සලසන උතුම් වූ දර්ශණයක් ඔබ නොදත් ආයුර්වේදය තුල අන්තර්ගතව පවති. නිරෝගිකම නැති තැන චතුර්වර්ග සම්පත්තිය උදාකර ගත නොහැකිය. එබැවින් මෙලොව පරලොව පිළිබඳ හිතකර වූ විෂයෝ පවතින යම් වේදයක්(විද්‍යාවක්) පවතීද එය ආයුර්වේදයයි.
පෙර අපේ මුතුන් මිත්තෝ කෙනෙක් මුණ ගැසුනු විට “ආයු බෝ වේවා”, “ආයුබෝවන්” ලෙස සුභ පැතුවේය. නොහදුනා කෙනෙක් මුණගැසුන විට ආමන්ත්‍රණය කලේ “ආයුබෝන්” ලෙසය. එලෙසම වෙන්ව යනවිට “බුදු සරණයි”, “තෙරුවන් සරණයි”, “දෙවි පිහිටයි” යන ප්‍රාර්ථනා සිදු කලේය. එවැනි සුභාසිංශනයක් ගත සිත දෙකම සුවපත් වූ සෙත් කවියක් මෙනි. පැරැණ්නන්ගේ නිරෝගිකමට හේතුව ඔවුන් ආයුර්වේදය තුල ජීවත් වීමයි. හිත වූ සුඛ වූ ආයුෂය වින්දනය කිරීමයි. ශාරීරික මානසික ආධ්‍යාත්මය නිරෝගී වූ පිරිසක් බිහිවීමයි. බෞද්ධ දර්ශණයත් මේ සදහා ප්‍රබල සාධකයක් වුනා. ඔවුන් රට සහලින් පෝෂණය කර, පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කලේය; නවීන යැයි පවසන විද්‍යාවටත් අභියෝග වන විශ්ම කර්ම වූ යෝධ වැව්, දාගැබ් නිර්මාණ කලේය; දැඩිබව හෙබ වූ කලු ගල් පර්වත කාරුණාව මෛත්‍රිය විදහාපාන, සිත නිවෙන පිළිම බවට පත් කලේය;
නමුත් වර්තමානයේ අර්ථ ශුන්‍ය පරගැති වචන වලින් කට පුරවා ගෙන සිටි. පැරැණ්නන් කල එවැනි හපන්කම් දැන් ඇත්තන්ට කිරීමට යන්ත්‍ර සූත්‍ර රාශියක පිහිට පැතිය යුතුය. ඔවුන් කල හපන්කම් කිරීම කෙසේ වෙතත් තම ශරීරය මැරෙනකම් නඩත්තු කිරීමටත් යන්ත්‍ර සූත්‍ර සිරුරේ සම්බන්ධ කරගෙන සිටී.
ආයුර්වේදය/දේශීය වෙදකමේ සියලුම ඥානයන් දැන ගත්තේ මනස දියුණු කිරීමෙනි. සිරුරේ රෝග පීඩා හටගන්නා ආකාරය, ඖෂධ සහ ආහාර පානවල ගුණාගුණ ආදිය සියල්ලම පිළිබද ඥාණය ලබා ගත්තේ මනසේ බලයෙන් මිස උපකරණ බලයෙන් නොවේ. එබැවින් දිනෙන් දින සොයා ගන්නා නවීන උපකරණ අනුව රෝගයන්,රෝග පීඩාවන්, ඖෂධ සහ ආහාර පානවල ගුණාගුණ ආදිය වෙනස් වුවද මනසෙහි දියුණුවෙන් සොයා ගන්නා වූ ඒවායෙහි දැනුම වෙනස් නොවේ. එබැවින් මෙම වෙදකම සදාකාලිකය.
ධර්ම අර්ථ කාම මෝක්ෂ ලබා දෙන දෙලොවට හිතකර වූ වෙදකමෙන් ඇත් වූ ශ්‍රී ලාංකීය ජනතාව නැවත හිත වූ සූඛ වූ ආයුෂ වින්දනය කියාපානා මාර්ගෝපදේශනයේම ගමන් කරත්වා.