18/01/2026
✅අද දින මට හම්බුන රෝගියෙක් නිසා මේ ලිපිය ලියන්න හිතුවේ, මුළු පවුලටම ටීනියා ආසාදනය වෙලා, දැන් මාස 6 ක් ලු, බෙහෙත් මාස 5 ක් තිස්සේ ගන්නවාලු, ඒ මදිවට අවුරුදු 4 පොඩ්ඩත් ඇග කසනවා හො හෝ ගාලා.පොඩ්ඩගේ ඇග පුරාම ටීනියා rashes, අත් දෙක් , පිට , කකුල් , පස්ස පැත්ත ගන්න දෙයක් නෑ....
අයියෝ එතකොට මාස 5 ක් තිස්සේ බෙහෙත් ගත්තා කිව්වේ????
බෙහෙත් ගත්තම අඩු වෙලා යනවලූ ඉක්මනට හැබැයි ආයේ තිබ්බට වඩා වැඩිය වෙන තැනකින් මතුවෙනවලු.
ඉතින් කෝකටත් කියලා ගෙනල්ලා තිබ්බ මල්ල ලිහලා බැලුව කලින් මාස 6 ක් අරන් තිබ්බ බෙහෙත් ටික. හත්දෙයියනේ ...! කියලා මට කියවුනේ ඉබේටම වගේ....
බෙහෙත් අරන් තියෙනේ දොස්තර කෙනෙක්ගෙන්ද කොන්දොස්තර කෙනෙක් ගෙන්ද කියලා මට හිතුනා...
ටීනියා වලට ගාන්න එපා එපා කියන STEROID + STEROID COMBINATION ගණයේ ආලේපන ලොට් එකක් එතන.
BETAMETHASONE වලින් පටන් අරන් FLUOCINOLONE ACETANOID වලටම ගිහින්.
වැඩේ කියන්නේ STEROID ආලේප්න ගාලා ගාලා ටීනියා Rash එක හොයාගන්නම බැරි විදියට වෙනස් වෙලා, අපි ඒකට Medical word වලින් කියන්නේ , typical picture එක ගිහින් කියලා.
කොච්චර කිව්වත්,මාධ්‍ය මගින් දැනුවත් කරත් සම+හරක් එකම වැරදි දේ නිතට නිතරම කරන නිසා මම මේ " ටීනියා "ගැන ටිකක් ඔයාලට කියන්න හිතුවා.
| ටීනියා කියන්නේ මොකක්ද? |
ටීනියා කියන්නේ අපේ සමට වැළඳෙන දිලීර (fungal) ආසාදනයක්, අපේ සමේ ඇතිවෙන rash එක මුද්දක වගේ වටකුරු හැඩැති එකක් නිසා මේකටම ringworm ආසාදනය කියලත් කියනවා.
ටිනියා වර්ග අපේ ඇගේ ඇතිවෙන තැන් අනුව විවිධ නම් යොදලා තියෙනවා.
* Tinea corporis– ශරීරයේ චර්මය
* Tinea cruris– කකුල් අතර ,ඉකිළි ප්‍රදේශයේ (jock itch)
* Tinea pedis– පාදවල (athlete’s foot)
* Tinea capitis– හිස් කබලේ
* Tinea unguium (Onychomycosis)– නියපොතු වල
| එතකොට මේ ටීනියා වල රෝග ලක්ෂණ:|
* වටකුරු, රතු පැහැති පැල්ලම්
* අධික ලෙස කැසීම (itching)
* සමේ මැද පැහැදිලි වෙලා වටේ රතු වී තිබීම
* සමේ වියළි ස්වාභාවය හා පොතු පොතු ගැලවී යාම
* හිස් කබලට වැළඳුනොත් හිස කෙස් වැටීම
* ප්‍රතිකාර නොකලහොත් ශරීරයේ අනෙකුත් ස්ථාන වලට පැතිරීම
| ටීනියා බෝවෙන/ වැළඳෙන ආකාර: |
* බාගෙට වේලුනු තෙතමනය සහිත යට ඇදුම් භාවිතය
* ශරීරයට හිර යට ඇදුම් දීර්ඝ වේලාවක් පැළද සිටීම
* ටීනියා රෝගය සහිත පුද්ගලයෙකුගේ තුවා/ ඇද ඇතිරිලි/ කොට්ට සහ ඇදුම් භාවිතය.
* නිසි ලෙස පිරිසිදු නොකරන ලද පොදු වැසිකිළි භාවිතය.
* සතුන් (බළලා, බල්ලා) සමග ඉතා සමීපව කටයුතු කිරීම
* තමන්ගේ පිරිසිදුකම අඩු වීම සහ අඩු සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ ජීවත් වීම
| රෝග නිශ්චය (Diagnosis): |
* වෛද්‍යවරයාගේ පරීක්ෂාව
* Skin scraping (චර්ම නියැදි පරීක්ෂාව)
* කලාතුරකින් fungal culture
නිවැරදි දැනුමක් සහිත වෛද්‍යවරයෙකු හට 95% ටීනියා රෝගය ,රෝග ලක්ෂණ සහ rash එකේ ස්වාභාවය අනුව පැහැදිලිව නිශ්චය කර ගත හැක.
එය දැනගත් විගස , නිවැරදි ලෙස ප්‍රතිකාර කිරීම මගින් ටීනියා රෝගය 100% සුව් කල හැකි සේම , එමගින් ඔබගේ අනෙකුත් සමීපතමයන් හට එය වැළදීම වළක්වා ගත හැක.
|මේ සදහා ප්‍රතිකාර (Treatment):|
_බාහිර බෙහෙත් (Cream/ointment)
බාහිර දිලීරනාශක ආලේපන මගින් සුළු ටීනියා රෝගය සුව කල හැක.
නමුදු , එය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් නියමිත ආලේපනය ලබා ගත යුතුය. ( වර්තමානයේ සමහට දිලීර නාශක ආලේපන සදහා මෙම ටීනියා දිලීරය ප්‍රතිරෝධයක් දක්වයි, එම නිසා ඔබට සුදුසු අලේපනය තෝරා දීම වෛද්‍යවරයා ගේ වගකීම වනු ඇත)
මෙය දිනකට 1–2 වරක්,අවම වශයෙන් සති 2–4ක්
රෝග ලක්ෂණ නැතිවු පසුත්, තවත් සතියක් පමණ ආලේපනය සිදු කල යුතු බව හොදින් අවධාරණය කල යුතුය.
_බොන බෙහෙත් (Severe cases):
මෙය උග්‍ර ටීනියා ආසාදනයන් සදහා භාවිතා කරනු ලබයි.( ආලේපන පමණක් භාවිතයෙන් සුව කල නොහැකි ආසාදන)
⚠️ මෙම දිලීර නාශක බෙහෙත් පෙති සහ කරල් ,අක්මාවට හානිදායක නිසා සහ ආසාත්මිකතා ඇතිවීමේ අවදානම් තත්ත්වය නිසා වෛද්‍ය උපදෙස් අනුව පමණක් මෙය භාවිතා කිරීම අනිවාර්යය වේ.
| වළක්වා ගැනීමට උපදෙස්: |
* සම වියළිව තබාගන්න
* දිනපතා පිරිසිදුව සිටීම සහ ස්නානය කිරීමෙන් පසු හොදින් තෙතමනය ඉවත්කිරීමෙන් පසු ඇදුම් / යට ඇදුම් භාවිතය.
* තම තමන්ගේ තුවා / ඇඳුම් වෙන වෙනම භාවිතා කරන්න
* වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ඔසුසැල් වලින් ලබාදෙන ආලේපන ( බොහෝ විට STEROID CREAMS ) භාවිතයෙන් වැලකීම.
DR.NIMESH (MBBS(KEL), FCAM- COSMETOLOGY & AESTHETIC MED.)
කතෲ අයිතිය සුරකිමින් අනෙක් අයටත් දැනගැනීම උදෙසා SHARE කරන්න.