Swastha Ayurveda

Swastha Ayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Swastha Ayurveda, Medical Center, Swastha Ayurveda, Thalpitiya, Wadduwa.

01/01/2023

Wishing you a Happy new year filled with laughter and good health. 💐🙂

https://m.facebook.com/story.php?story_fbid=634157488179265&id=100047550586596
07/10/2022

https://m.facebook.com/story.php?story_fbid=634157488179265&id=100047550586596

දේශීය කැඳ සංස්කෘතිය පෝෂණ ගැටලුවට විසඳුමකි
++++++++++++

මන්දපෝෂණයට කැඳ ප්‍රතිකාරය පර්යේෂණාත්මකව දියුණු කරමු
===========

බටහිර ගායට සුද්දන්ගේ සුප් වෙනුවට කොළ කැඳ පොවමු
******************

මන්දපෝෂණය ඇති ළමුන් හට කැඳ දීම නුසුදුසු යැයි බටහිර වෛද්‍යවරුන් ගේ මතයක් පළවීම ගැන සංවාදයක් ඇතිවී තිබේ. අපේ රටේ කැඳ සංස්කෘතියක් තිබුණු රටකි. ආයුර්වේදය යනු කැඳ වල ගුණ විවරණය කරන වෛද්‍ය ක්‍රමයකි. අපේ දේශීය වෙදකම කැඳ වලින් රෝගීන් සුවපත් කරන වෛද්‍ය ක්‍රමයකි. එබැව්න් කැඳ යනු නොයෙක් ආකාරයෙන් සකසා ගත හැකි පෝෂණීය මෙන්ම දිරවීමේ පහසු ආහාරයක් බව පළමුව කිව යුතුය. කැඳ යනු නිරෝගී පුද්ගලයින් හට ආහාරයක් මෙන්ම රෝගීන් හට ඖෂධීය ගුණ සහිත චිකිත්සීය පෝෂකයක් මෙන්ම සමහර විටෙක ප්‍රතිකාරයේ කොටසක් වන ඖෂධයක් හෝ පථ්‍ය ආහාරයක් ලෙස ද භාවිතා වේ. චිකිත්සීය පෝෂණය (therapeutic nutrition) යනු අපේ වෙදකමේ කොටසක් විය. කැඳ යනු එක්තරා ආකාරයකින් සෞඛ්‍ය අතිරේකයක් (health supplement) ලෙස ද භාවිත විය. එය නවීන දෘෂ්ටිකෝණයෙන් බලන විට කෘත්‍යාත්මක ආහාර (functional food) ගණයට වැටේ.

මන්දපෝෂණය යනු ආයුර්වේදය නොදැන සිටි රෝග තත්වයක් නොවේ. එය රෝග තත්වයකට වඩා රෝග වලට හේතු වන පෝෂණ ප්‍රශ්නයකි. මන්දපෝෂණ තත්වය නිසා හටගන්නා රෝග දේශීය වෛද්‍ය ක්‍රමයේ දී මාන්දම නමින් හැඳින්වූ රෝග කොටසට අයත් වේ. ප්‍රධාන වශයෙන් මාන්දම් ප්‍රභේද 18 ක් දේශීය මාන්දම් වෙදකමේ දී විස්තර කෙරේ. වාත මාන්දම, කාලි මාන්දම, පිත් මාන්දම, කිරි මාන්දම, සෙම් මාන්දම, කොට්ටුපේරු මාන්දම, කෝලසන්නි මාන්දම, තිදොස් මාන්දම, නීල ගලපටලමාන්දම, අජීර්ණ මාන්දම, සීතල සන්නි මාන්දම, යක්ෂාති මාන්දම, උදරවායු මාන්දම, වාලි මාන්දම, ඌදු මාන්දම, ගුණතුංග මාන්දම, ශෝථ මාන්දම, කණ්ඩමාල මාන්දම, පණු මාන්දම, කුරුමිණි මාන්දම, අහිරි මාන්දම, ජ්වර මාන්දම ආදී නම් ඒවාට යෙදේ. මේවායේ ලක්ෂණ මෙන්ම ඒවාට කළ යුතු ප්‍රතිකර්ම ද පොත පතේ සඳහන් වේ. එම ප්‍රතිකර්ම අතරට කෂාය, බස්න වර්ග මෙන්ම කැඳ වර්ග ද ඇතුළත් වේ.

මාන්දම් රෝගයේ දී දෙන බස්න වර්ග වල අඩංගු වන්නේ මාංශ හෝ මාළු වැනි සත්ව ආහාර ප්‍රභවයන් වේ. ඒවා අතර තෝර බස්නය, කෙලවලු බස්නය, කලුකුකුළු බස්නය, සස බස්නය, පීකුදු බස්නය, වැනි සංස්කරණ ඇතුළත් වේ. දේශීය වෛද්‍ය ක්‍රමය නිර්මාංශ බවට සමහර අය ගෙන යන ප්‍රචාරය ද මෙහිදී විශාල වශයෙන් හානිකරය. ඔවුන් ඒ මතය ඉදිරිපත් කරනුයේ වෛද්‍ය ක්‍රමය ගැන අවබෝධයකින් තොරවය. ප්‍රෝටීන් හෝ කැලරි ඌනතා නිසා ඇතිවන මන්දපෝෂණය සඳහා දේශීය මාන්දම් වෙදකම වැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් එය ඉතා විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැගී ඇති බවත් අවධාරණය කළ යුතුය. එනිසා කැඳ හෝ කොළ කැඳ යනු එවැනි අවස්ථා වලදී අංග සම්පූර්ණ ආහාරයක් නොවන බව සැලකිය යුතුය.

පෝෂණ ඌනතාව මෙන්ම ආහාර දිරවීමේ සහ අවශෝෂණයේ දුර්වලතා නිසාද මන්දපෝෂණය ඇති විය හැකිය. ආහාර හිඟයක් නොමැතිව වුවත් මන්දපෝෂණය ඇතිවන්නේ පරිවෘත්තීය ආබාධ නිසාය. ඒ අනුව කැඳ වලින් මේ වැරදි නිවැරැදි කොට පෝෂණය ද ලබා දෙන බව අත්දැකීමෙන් දනිමු. බත් වලින් සකස් කරනු ලබන කැඳ හා සමාන ආහාරවර්ග කිහිපයක් ආයුර්වේදයේ සඳහන් වේ. මණ්ඩ, පේයා, යවාගු, විලේපී, ඕදන යනුවෙන් ඒවා නම් කොට තිබේ. මෙහිදී ඒවා පිළිවෙළින් එකිනෙක අනිකට වඩා ඝනකමින් (thicker) යුක්තය. ඒවා සකසනු ලබනුයේ ඒ ඒ පුද්ගලයා ගේ දිරවීමේ හැකියාව අනුවය. ඒවා සඳහා යොදා ගනු ලබනුයේ ද ආයුර්වේදයේ සඳහන් ඖෂධීය සහල් වර්ග වේ. ඒවා විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත්ය. අපේ රටේ ද තිබෙන දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් මේ පෝෂණ ගුණ සහිතය. මෙවැනි කැඳ වර්ග වලට පොදුවේ හීනැටි හෝ කළු හීනැටි හාල් යොදා ගනී.

අලුත්ම ප්‍රශ්නය වී තිබෙනුයේ කොළ කැඳ හෝ කැඳ වර්ග වල ජල ප්‍රතිශතය වැඩි නිසා මන්දපෝෂණය ඇති දරුවන් හට ඒවා නුසුදුසු බවය. ඒවායින් පෝෂණය හෝ ශක්තිය නොලැබෙන බවය. කොළ කැඳ වල ප්‍රධාන සංඝටක 4 ක් තිබේ. ඒවා නම් කොළ ඉස්ම, පොල්කිරි, සහල් සහ කුළුබඩු (ඉඟුරු, සුදුළූණු) යන ඒවාය. මෙය බැලු බැල්මට ප්‍රධාන පෝෂණ සංඝටක සහ අනෙකුත් පෝෂක සහිත ආහාරයකි. එහෙත් මෙය ප්‍රෝටීන ඌනතාවය සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. එසේ වුවත් මේ සඳහා මුං, කඩල, කව්පි, උඳු වැනි රනිල ඇට වර්ග වල පිටි එකතු කළ හැකිය. විශේෂයෙන්ම ඒවා දිරවීමට පහසු පරිදි රැයක් දියේ පොඟවා ඇට වශයෙන් ද එකතු කරගැනීම සුදුසුය. එහෙත් කොළ කැඳ යනු අතිරේක ආහාරයක් ලෙස මන්දපෝෂණය ඇති දරුවන්ට දීම වරදක් නොවේ. ඒ සඳහා කොක්මොට වැනි කොළ වර්ග තෝරා ගැනීම ද සුදුසුය. මුරුංගා වල පෝෂක අගය ගැන සලකා බලන විට එය ඉතාම වටිනා පෝෂකයකි.

පසුගිය වර්ෂයේ පළ වූ Moringa Oleifera in Malnutrition: A Comprehensive Review යන පත්‍රිකාව මුරුංගා කොළ මන්දපෝෂණය සඳහා යොදා ගත හැකි ඉතා වටිනා පෝෂණ ප්‍රභවයක් ලෙස පෙන්වා දී තිබේ (Curr Drug Discov Technol. 2021;18(2):235-243). ඒ වසරේ දීම පළ වූ Nutritional significance and therapeutic potential of Moringa oleifera: The wonder plantයන පත්‍රිකාව අනුව මුරුංගා කොළ මන්දපෝෂණයට එරෙහිව යොදා ගත හැකි බහුපෝෂක ප්‍රභවයකි (J Food Biochem . 2021 Oct;45(10):e13933). මුරුංගා පෝෂක ප්‍රභවයක් ලෙස ඉතා පහසුවෙන් යොදා ගැනීමට හැකියාව ඇති බව Moringa oleifera is a Prominent Source of Nutrients with Potential Health Benefits යන සමාලෝචනය අනුව පෙනේ (Int J Food Sci . 2021 Aug 10;2021:6627265). මුරුංගා මෙන්ම අනෙකුත් කොළ වර්ග සම්බන්ධයෙන් ද මෙවැනි පර්යේෂණ වාර්තා එමටය. එහෙත් ඒවා නොකියවා කොළ කැඳ ගැන අදහස් පළ කිරීම වෘත්තීය සදාචාරයට පටහැනි නොහොබිනා ක්‍රියාවකි. අඩු වශයෙන් කොළ කැඳක් සකසන ආකාරය ගැන මූලික දැනුම හෝ නොමැතිව එය වතුර විතරක් ඇති ආහාරයක් ලෙස සලකා මත පළ කිරීම දියාරු වැඩකි.

කැඳ සැකසීමේ ප්‍රධාන සංඝටකය සහල් වුවත් ඒ සමඟ වෙනත් ධාන්‍ය වර්ග, අල වර්ග, කොළ වර්ග හෝ ගෙඩි වර්ග ද යොදා ගැනීමට හැකියාවක් තිබේ. අපේ රටේ පොල් කිරි යනු කැඳ වර්ග වලදී යොදා ගත හැකි ඉතා වටිනා පෝෂණීය සංඝටකයක් වේ. වෙනත් ප්‍රෝටීන ප්‍රභවයන් ද යෙදිය හැකිය. අප්‍රිකානු රටවල කෘමීන් හා පණුවන් යොදා ගෙන කැඳ වර්ග සකසයි. ඒ ඔවුන්ගේ ආහාර සංස්කෘතියට අනුව සිදු කරන්නකි. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් ළමා මන්දපෝෂණය සඳහා කැඳ වල තිබෙන උපයෝගීතාව සහ විභවතාව අධ්‍යයනය කරමින් සිටියි. බොහෝ සම්ප්‍රදායික ආහාර සංස්කෘතීන් ඇති රටවල පෝෂණ ගැටළු තිබෙන ළමයින්ට කැඳ දීමේ සිරිත පවතී. ආහාර අහේනිය ඇති කාලයේ දී කැඳ යනු ඉතා පහසුවෙන් සකස් කළ හැකි වටිනා ආහාරයකි. 2016 දී ලයිබීරියානු පෝෂණ ව්‍යාපෘතියක් නිකුත් කළ The Power of Porridge: Fighting Malnutrition With Local Ingredients වාර්තාවේ එක් සොයාගැනීමක් පහත දැක්වේ.

“An analysis of the porridge has shown that it is highly nutritious. A half cup of the ‘plantain and peanut’ variety of porridge, for example, provides between 82% and 225% of average daily complimentary calories (depending on the child’s age between 6-23 months), well over 100% of average daily protein needs, and 21% of average daily fat needs for children under two years of age. In terms of micronutrients, again depending on the age of the child, a half cup of the porridge provides between 64% and 73% of vitamin A needs, and between 12% and 19% of daily iron needs”.

උගන්ඩාවේ මන්දපෝෂණය සහිත ළමයින් හට කැඳ වර්ගයක් නවීන ආකාරයෙන් සකසා දීම ශක්තිවර්ධිත කිරීම (fortification) හරහා ලබා ගත් සාර්ථක ප්‍රතිඵල Effect of a novel supplementary porridge on the nutritional status of infants and young children diagnosed with moderate acute malnutrition in Uganda: a cluster randomised control trial යන වාර්තාවේ දක්වා තිබේ (J Hum Nutr Diet. 2019 Jun;32(3):295-302). උගන්ඩාවේ සිදු කළ මෙම අධ්‍යයනය අනුව නව නිෂ්පාදනයක් ද අත්හදා බලා තිබේ (Formulation, Sensory Attributes and Nutrient Content of a Malted Sorghum-based Porridge: Potential for the Management of Moderate Acute Malnutrition among Infants and Young Children. Curr. Nutri. Food Sci. 2021; 17(5): 483-9). එහිදී ශක්තිවර්ධිත ක්‍රියාවලියසඳහා සම්ප්‍රදායික සංඝටක යොදා ගත හැකිය.

ප්‍රෝටීන් ඌණතාව කෙසේ වෙතත් ප්‍රධාන පෝෂණ ගැටලුවක් වන A විටමින් ඌනතාව සඳහා කොළ කැඳ වල සාර්ථක උපයෝගීතාව ගැන සොයා බලන්නට හෝ ඉස්පාසුවක් නැති බටහිර ගැති මානසිකත්වය ගැන ඇත්තේ කළකිරීමකි. බීටා කැරොටීන් වලින් අනූන කොළ වර්ග වලින් ඉතා පහසුවෙන් පොල්කිරි වැනි තෛල මාධ්‍යයක් හරහා A විටමින සංශ්ලේෂණය සිදුවන බව ඔප්පු කළ හැකිව තිබියදී තවමත් දුවන්නේ බහුජාතික සමාගම් වල විටමින් අතිරේක සොයාගෙනය. කැරොටීන් බහුලව තිබෙන්නේ කැරට් වල පමණක් යැයි සිතා සිටින සමහර දොස්තර මහතුන් වට්ටක්කා සුප් බොන්නේ තරු පහේ හෝටල් වලදී පමණි. වට්ටක්කා කැඳ හෝ අපේ දේශීය අල වර්ග වලින් සකසන කැඳ වල පෝෂණ ගුණය නොදැන සිටීමට වඩා ඒවා නොඉවසන උඩඟුකමක් ඔවුන් තුළ තිබේ. එහෙත් වෙනත් රටවල් වල විද්වතුන් සිය දේශීය සම්පත් යොදා ගෙන නව නිපැයුම් සිදු කරයි.

කොළ කැඳ සැකසීමේදී අනිවාර්යෙන්ම සුදුළූණු සහ ඉඟුරු එකතු කිරීම සිදු කරයි. ඒ මගින් අග්නිය වර්ධනය වීමත් ඉතා හොඳින් අවශ්‍ය පෝෂණ සංඝටක සිරුරට උරා ගැනීමත් වැඩි දියුණු කරයි. එනිසා මන්දපෝෂණය සහිත දරුවන්ට කොළ කැඳ ලබා දීමේදී ඔවුන් ගේ ආහාර දිරවීමේ හැකියාව මෙන්ම රුචිය ද වර්ධනය වේ. එහි අන්තර්ගත ජලය හුදු ජලය පමණක් නොව යම් ආකාරයක පෝෂණ සංඝටක දියවු ශක්තිකෘත තරලයක් බව අමතක නොකළ යුතුය. සාමාන්‍ය දැනුම තිබෙන ඕනෑම ගැමි මවක් මේ කාරණය ගැන දැනුවත්ය. ඒ සඳහා අමුතු විද්‍යාවක් ඉගෙන ගැනීමට අවශ්‍ය නොවේ. පිටරටින් එන කෘත්‍යාත්මක ආහාර (functional foods) හෝ පෝෂකෞෂධ (nutriceuticals) වලට වැය කරන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අපේ සාම්ප්‍රදායික ආහාර ගැන සමාජය දැනුවත් කිරීම සෑම වෛද්‍යවරයෙකු ගේම වගකීම සහ යුතුකම විය යුතුය. එසේ නොමැති නම් අපේ කොළ කැඳ වල පෝෂණ අගය ගැන පර්යේෂණ සිදු කොට ඒවා ප්‍රසිද්ධ කළ යුතුය. ඒවා වඩා හොඳින් භාවිතයට ගත හැකි ආකාරයෙන් වැඩි දියුණු කළ යුතුය.

ඒ අනුව අපේ රටේ බටහිර වෛද්‍යවරුන් මෙන්ම පෝෂණවේදීන් කළ යුත්තේ කැඳ වලට දෙස් දෙවොල් තබමින් ඩොලර් කීයක් හෝ වැයවන මිළ අධික ආහාර අතිරේක නිර්දේශ කරනවාට වඩා පහසුවෙන් සකසා ගත හැකි දේශීය ආහාර වල ගුණාත්මකභාවය දියුණු කිරීමට අවශ්‍ය සහය ලබා දීමය. එසේ නොවුවහොත් ඊළඟ නිමේෂයේ දී බහුජාතික සමාගම් වලින් නිපදවූ පිටි කැඳ (powdered porrigde) පැකට් පිටරටින් ගෙන්වීමට සිදුවේ. දැනටමත් නෙස්ලේ සමාගම ඒ සඳහා සූදානම් වෙමින් තිබේ. Nestlé tackles malnutrition with sorghum-based porridge using valorized ingredients යනු 2022 වර්ෂයේ ඔවුන්ගේ ව්‍යාපෘතිය වේ. ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන කරුණු අනුව ධාන්‍ය වර්ග වලින් කැඳ පිස ආහාරයට ගැනීම මන්දපෝෂණය සඳහා ඉතාම යෝග්‍ය විසඳුමකි. අපේ රටේ තිබෙන තණහාල්, මෙනේරි, කිතුල්පිටි වැනි දේ වලින් ඉතා වටිනා නව නිපැයුම් සිදු කළ හැකිව තිබියදී කොළ කැඳ වල ඇද හොයමින් සිටින විද්‍යාඥයින් රටට සාපයකි.

(කොළ කැඳ ප්‍රෝටීන් හෝ කැලරි ඌනතා මත ඇතිවන වන මන්දපොෂණයේ දී අංග සම්පූර්ණ ආහාරයක් නොවන බව සලකන්න.)

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

https://www.facebook.com/100047550586596/posts/626205528974461/
01/10/2022

https://www.facebook.com/100047550586596/posts/626205528974461/

ආයුර්වේද ප්‍රතිකාර වලින් පිත්තාශ අශ්මරී සුව කළ හැකිය
+++++++++++

පිත්තාශය යනු ආහාර මාර්ග පද්ධතියේ පිහිටි ඉතා වැදගත් ඉන්ද්‍රියකි. එය ඉංග්‍රීසියෙන් gallbladder නමින් ද වෛද්‍ය විද්‍යාත්මකව cholecyst නමින් ද හැඳින්වේ. අක්මාවෙන් නිපදවන පිත ගබඩා කර තිබෙනුයේ මෙම කුඩා පැසක් වැනි ඉන්ද්‍රිය තුළය. එහි ගබඩා කොට තිබෙන පිත නිසා ආහාරයට පිත්තාශය පිම්බී තිබෙන අතර ආහාරයෙන් පසුව හැකිලී යයි. මෙම පිත මුදාහරින්නේ ග්‍රහණිය නමින් හඳුන්වන කොටසටය. බොහෝ සෙයින්ම මෙම පිත ආහාරයේ තිබෙන මේදය දිරවීම සඳහා උපකාරී වෙයි. පිත්තාශයේ හට ගන්නා රෝගාබාධ අතුරින් අශ්මරී හෙවත් ගල් හටගැනීම gallstones හෙවත් cholelithiasis නමින් හැඳින්වේ. මෙවැනි අශ්මරී අතුරින් 80% ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වන silent gallstones නමින් හැඳින්වේ. එහෙත් සමහර අවස්ථා වලදී රෝගීන් අනවශ්‍ය ලෙස ශල්‍යකර්ම සඳහා යොමු කරන බව පෙනේ. එසේම සමහර රෝගීන් ගේ පිත්තාශය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ද සිදු කෙරේ. සමහර රෝගීන් ශල්‍ය කර්මය නිසා ජීවිත අවදානමට හෝ වෙනත් උපද්‍රව වලට ද ගොදුරු වේ.

අශ්මරී කාලයක් තිස්සේ පිත්තාශයේ රැස්වී පසු කලෙක එනිසාම පිත්තාශය ප්‍රදාහ තත්වයට පත්වීමට ද ඉඩ තිබේ. පිත්තාශයේ හට ගන්නා මෙම අශ්මරී එහි නාලය අවහිර කරන විට ඇතිවන අධික වේදනාව පිත්තජ ශූලය (biliary colic) නමින් හැඳින්වේ. එය අනින්නාක් බඳු වේදනාවකි. මේ වේදනාව උදරය මැද කොටසේ හෝ දකුණු පස ඉහළ කොටසේ ආරම්භ වී දකුණු උරහිස් දක්වා පැතිරෙන වේදනාව, උරපතු අතර වේදනාව, දක්වා වර්ධනය වේ. මෙම වේදනාව පවතින කාලය, එහි ව්‍යාප්තිය, එය වැඩිවීමට බලපාන හේතු ආදී කරුණු ඔස්සේ රෝගය නිගමනය කිරීමට උපකාරයක් ලැබේ. පිත්තාශයේ පවතින අශ්මරී වල ප්‍රමාණය ගැන නිශ්චිතව දැනගනීමට නම් ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වේ. මෙම අශ්මරී නිසා පිත්තාශ ප්‍රදාහය ඇති වුව හොත් අධික උණ, වෙව්ලීම, වමනය, සමේ කැසීම, කහ පැහැය, ඇස් කහපැහැ වීම ආදී ලක්ෂණ ඇතිවේ. එහෙත් පිත්තාශයේ ආසාදන නිසා ඇතිවන ප්‍රදාහ (cholecystitis), අග්න්‍යාශ ප්‍රදාහ (pancreatitis), උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (apendicitis) වැනි රෝග වලින් ද මෙම තත්වය වෙන් කර ගත යුතුය.

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව පිත්තාශ අශ්මරී ප්‍රධාන වර්ග 8 කට බෙදා දක්වයි. ඒවා නම් cholesterol stones, pigment stones, calcium carbonate stones, phosphate stones, calcium stearate stones, protein stones, cystine stones සහ mixed stones යනුවෙන් නම් කළ හැකිය. සාමාන්‍යයෙන් 80% ක් පමණ අශ්මරී කොලෙස්ටරෝල් වලින් නිර්මිතය. රංග අශ්මරී (pigment stones) වල බෙහෙවින් ඇත්තේ බිලිරුබින් වේ. පිත්තාශ අශ්මරී ඇතිවීම සහ අක්මාවේ කොලේස්ටරෝල් පරිවෘත්තීය අතර සම්බන්ධයක් තිබෙන බව පෙනේ. පිත්ත යුෂයේ කොලෙස්ටරෝල් හෝ බිලිරුබින් ප්‍රමාණය වැඩි වීම නිසා මෙවැනි අශ්මරී නිර්මාණය වන බව සොයාගෙන තිබේ. ඒ අනුව පිත්තාශ අශ්මරිය වෙනත් රෝගයක ලක්ෂණයක් වීමට ද ඉඩ තිබේ. ආයුර්වේද ප්‍රතිකාර වලදී එම අශ්මරී වර්ග ප්‍රධාන වශයෙන් වාතජ, පිත්තජ, කඵජ, ත්‍රිදෝෂජ යන වර්ගීකරණයට අනුව සලකා බැලේ. එසේම වාතරක්ත රෝගයේ ප්‍රතිඵලයක් ලෙස ද මෙවැනි අශ්මරී ඇති වන බව මගේ අත්දැකීමයි. එම අශ්මරී වල සංයුතිය අනුව ඒවා දිය වීමට යෙදිය යුතු ප්‍රතිකාර මෙන්ම කාලය ද තීරණය වේ. සමහර අශ්මරී වර්ග පහසුවෙන් දිය නොවේ.

ආයුර්වේදය අනුව පිත්තාශ අශ්මරී යනු පිත්ත විකෘතියකි. බොහෝ පිත්තාශ අශ්මරී රෝගීන් හට අම්ලපිත්ත රෝග ලක්ෂණ ද බහුලව දක්නට ලැබේ. පිත්ත දෝෂයේ විකෘතිය නිසා ඇතිවන බොහෝ රෝග ලක්ෂණ එක හා සමාන නිසා එවැනි රෝගීන් ප්‍රවේශමෙන් රෝග නිර්ණයට බඳුන් කළ යුතුය. එසේම සමහර පිත්තාශ අශ්මරී රෝගීන් ගේ ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීමේ ප්‍රවණතාවක් ද ඇති බව අත්දැකීමෙන් පෙනේ. එසේම සමහර විටෙක වකුගඩු වල ඇති වන අශ්මරී ද පිත්තාශ අශ්මරී රෝගය ද එකවිට තිබෙන රෝගීන් ද අපට හමුවේ. මෙවැනි රෝගීන් ගේ අශ්මරී ඇතිවීමේ රෝග හේතුව පොදු හේතුවක් ලෙස සලකා ප්‍රතිකාර කළ හැකිය. කෙසේ වෙතත් පිත්තාශ අශ්මරී රෝගය බරපතල වීමට පෙර මුල් අවස්ථා වලදී ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකිය. එවැනි අශ්මරි ඉවත් කිරීමට ශල්‍යකර්ම නිර්දේශ කරන සමහර වෛද්‍යවරු ඒවා ආයුර්වේද ප්‍රතිකාරයෙන් ඉවත් වූ පසු ඒවා ඉබේ සුව වන වර්ගයට අයත් වන බව කීමට තරම් කුහක වේ. එසේ නම් ශල්‍යකර්ම නියම කොට තිබියදී ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන නැවත පරීක්ෂා කළ විට ගල් අතුරුදහන් වන්නේ ස්කෑන් යන්ත්‍රයේ වරදක් නිසා විය යුතුය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව පිත්තාශයේ අශ්මරී ඇතිවීමට හේතුවන ප්‍රධාන හේතු වන්නේ ප්‍රකෘතිය හෙවත් පුද්ගලයා ගේ ප්‍රවේණික හෝ සහජ බලපෑම්, අහිතකර ආහාර පාන සහ ජීවන රටාව නිසා ඇතිවන පරිවෘත්තීය වෙනස් කම් වේ. බොහෝ පිත්තාශ අශ්මරී ඖෂධ ප්‍රතිකාර සහ ආහාර රටාව වෙනස් කිරීම හරහා දියකර හැරීම සිදු කළ හැකිය. එහෙත් සමහර අවස්ථා වලදී ශල්‍ය කර්මයක් මගින් එම අශ්මරී ඉවත් කළ යුතු වේ. මස් මාංශ ආහාර වලට හුරු වූ සහ අධික තරබාරුව සහිත සමහර අයට මෙම අශ්මරී ඇතිවීම නැවත නැවත සිදු වේ. එම නිසා ආහාර පාන සහ ජීවන රටාව වෙනස් කිරීම හරහා මෙම රෝගය වර්ධනය වීම වළක්වා ගැනීමට හැකි බව පර්යේෂණ මගින් ඔප්පු වී තිබේ. ආයුර්වේද ප්‍රතිකාරයේ දී අශ්මරී විදාරණය (lithotrophic), පිත් විරේචනය (cholagogue) සහ අශ්මරී නිර්මාණයට හේතුවන පිතෙහි සංයුතිය වෙනස් කිරීම සඳහා පිත් ශ්‍රාවය වැඩිකිරීම (choleretics) ද සිදු කෙරේ. ඒ අනුව ශල්‍ය කර්මයකින් තොරව පිත්තාශ අශ්මරී රෝගය සුව කර ගත හැකිවේ. ඖෂධ ප්‍රතිකාරය අතරතුර පථ්‍ය ආහාර පාන ද ගත යුතුය.

මෙම රෝගය ඇති විට වයස හා වෙනත් සාධක මත රෝගය අවදානම් සහිත වන බව ද අවධාරණය කළ යුතුය. රෝගියා ගේ වයස අවුරුදු 40 ඉක්මවා ඇති විට මෙන්ම රෝගියට අදාළ පවුලේ ඉතිහාසයක් ඇති විට ද රෝගය බරපතල වීමේ ඉඩකඩ වැඩිය. කාන්තාවක් නම් ගර්භිණීභාවය සහ උපත්පාලන පෙති වර්ග හෝ හෝමෝන ආදේශක ලබා ගන්නේ නම් රෝගයේ අවදානම වැඩි බව පෙනේ. එසේම තරබාරු පුද්ගලයින්, අක්මා සිරෝසියාව, රක්තානුධ්වංසන රක්තහීනතාව, මධුමේහය වැනි රෝග වලදී ද මෙම රෝගයේ සංකූලතා වැඩිය. එවැනි රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට පෙර රෝග පරීක්ෂණ වාර්තා වලින් තිබෙන රෝග තත්වය ගැන නිශ්චිත තහවුරුවක් ලබා ගැනීම සුදුසුය. සමහර විටෙක අශ්මරියේ විශාලත්වය සහ එහි අවහිරතාව ගැන සලකා හදිසි ශල්‍යකර්ම කිරීමට සිදුවන අවස්ථා උදාවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සැමවිටෙකම වෛද්‍යවරයා සලකිලිමත් විය යුත්තේ රෝගියා ගේ ජීවිතාරක්ෂාව ගැනය. එසේම අඩුම සංකූලතා සහිතව රෝගියා සුවපත් කිරීමේ වෘත්තීය සදාචාරයක් සෑම වෛද්‍ය ක්‍රමයක්ම සතුය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

https://www.facebook.com/100064753267334/posts/428334912668281/
22/08/2022

https://www.facebook.com/100064753267334/posts/428334912668281/

'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ…

වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඔබ, 'මංකිපොක්ස්' බවට සැක කල හැකි රෝගියෙක් ද? 'මංකිපොක්ස්' රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ අවස්ථා වලදී කල යුත්තේ කුමක් දැයි යන අවබෝධයත් ඔබ වෙත සමීප කිරීම මෙම සටහනේ අරමුණයි.

👉 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි පුද්ගලයින් ( Suspected cases - Monkeypox)
වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි,

එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක්
සමඟ,

හිසරදය
එක්වරම හටගත් උණ
වසාගැටිති ඉදිමුම
මස් පිඩු වේදනාව
කොන්දේ වේදනාව
තදබල තෙහෙට්ටු ස්වභාවය

යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා 'මංකි පොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි අයෙකු ලෙස සැලකෙනවා.

කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ සහිත පුද්ගලයෙක් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා.

👉 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින් ( Probable cases - Monkeypox)

පෙර කී රෝග ලක්ෂණ අනුව 'මංකි පොක්ස්' බවට සැක කෙරෙන පුද්ගලයෙක්,

තහවුරු කල 'මංකි පොක්ස්' රෝගියෙකුගේ සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රෝග ලක්ෂණ හටහැනීමට දින 21ක් ඇතුලත, නාඳුනන අයෙකු සමඟ හෝ එක් අයෙකුට වැඩි දෙනෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් මංකිපොක්ස් වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාල ප්‍රතිඵල ලැබේ නම්

ඔහු හෝ ඇය, 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙනවා.

දැනට යමෙකු 'මංකි පොක්ස් රෝගියෙකු' බවට නිශ්චිතවම තහවුරු කල හැක්කේ සමෙහි ඇති වූ තුවාල වල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණයි.

👉 'මංකි පොක්ස්' ආශ්‍රිතයින් (Contacts - Monkeypox )

මුල්ම රෝග ලක්ෂණය හටගැනීමේ පටන් තුවාල වියලී, කබොලු සියල්ලම හැලී යන තුරු 'මංකිපොක්ස්' රෝගියෙකු වාහකයෙක් විය හැකියි. එම වාහක කාලය තුල ඉහත විස්තරකල ' 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි' හෝ ' 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි ' කෙනෙකු,

මුහුණට මුහුණලා සමීපව ඇසුරු කලහොත් හෝ
ඉතා සමීප ශාරීරික සබඳතා පැවැත්වුවහොත් හෝ
පරිහරණය කල උපකරණ හෝ ඇඳ ඇතිරිලි යනාදිය භාවිතා කලොත්

එම පිරිස ආශ්‍රිතයින්, ලෙස සැළකෙනවා.

රෝග ලක්ෂණ කිසිවක් නැති ආශ්‍රිතයින්, සෞඛ්‍ය උපදෙස් අනුව දින 21 ගතවන තෙක් පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර රෝග ලක්ෂණ එකක් හෝ හටහතහොත් වහාම අන් අයගෙන් වෙන් වී උපදෙස් අනුව කටයුතු කල යුතු වනවා.

ඔබත් මංකිපොක්ස් ආශ්‍රිතයෙකු වුවහොත් ඔබ කලයුතු දෑ පිළිබඳ වැඩිදුර විස්තර පියවරෙන් පියවර මීලඟ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ වසංගත අවදානම පිළිබඳ දැනුවත් ඔබ සියලු දෙනා, ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් සෞඛ්‍යය පිළිබඳව විමසිල්ලෙන් පසුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

https://www.facebook.com/100064753267334/posts/422211149947324/
08/08/2022

https://www.facebook.com/100064753267334/posts/422211149947324/

'මන්කි පොක්ස්'

වසංගත අවදානමට - දැනුම් සූදානම!!

මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.

රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000කටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය 'ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්' (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම 'මන්කිපොක්ස්' ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

'මන්කි පොක්ස්' ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.

උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි.

සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා. මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් - පා - මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්.

'මන්කි පොක්ස්' සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.

07/08/2022

Address

Swastha Ayurveda, Thalpitiya
Wadduwa

Opening Hours

Monday 16:30 - 20:00
Tuesday 16:30 - 20:00
Wednesday 16:30 - 20:00
Thursday 16:30 - 20:00
Friday 16:30 - 20:00
Saturday 08:30 - 20:00

Telephone

0719090708

Website

Alerts

Be the first to know and let us send you an email when Swastha Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category