09/12/2025
යුද්ධය දිනූ සොල්දාදුවා මඩ වතුරට ජීවිතය බිලි දුන් හැටි.. 😕👮🏻♂️
🚨-මී උණ මාරාන්තිකයි-🚨
ඒ රෝගියාව මට තාමත් හොඳට මතකයි...
මං එතකොට පුත්තලම මූලික රෝහලේ ICU එකේ වැඩ කළේ.. අපි ඔහුට සුමිත් කියමු..
ඔහු විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්, අවුරුදු 45ක වයසක හිටියට ඒ වෙද්දිත් තරුණ පෙනුමට හිටියේ..
දකිනකොටම කීවහැකි බොහොම ශක්තිමත් මනුස්සයෙක් කියලා. ඔහු යුද්ධයෙන් බේරුණා, නමුත් ගෙදරදී ඊට වඩා කුඩා, මාරාන්තික දෙයකට මුහුණ දෙන්න සිද්ධ උනා..👹
මේ සිද්ධිය වුණේ ගංවතුර කාලෙක නම් නෙවෙයි..
මේක සිද්ධ උනේ සුමිත් දෛනිකව කරන වැඩක් කරන්න ගිහින් තමයි.. හමුදාවෙන් විශ්‍රාම ගියපු මේ මනුස්සයා කිරි ගවයෙක් ඇති කළා.. 🐮
ඉතින් හැමදාම සුමිත් යනවා උදේට තණකොළ යායකට ගවයා ගැටගහන්න... 🌿
ගොඩක් වෙලාවට නිතරම තෙත තණකොළ සහ මඩ මේ මනුස්සයාගේ කකුල් වල ගෑවෙනවා මේ වැඩේට යද්දී..
ඔහු බූට්ස් දාගෙන යන්නේ නැහැ, සෙරෙප්පු විතරයි දාගෙන යන්නේ..
ඔහුගේ පාදයේ පොඩි සීරීමක් වගේ තියෙන්න ඇති..
ඒක දැනුනෙවත් නැති තරම් වෙන්න ඇති.. හැබැයි ඒ මාරාන්තික විෂබීජයට ඇතුල් වෙන්න ඕන වුණේ ඒ පොඩි සීරීම් තුවාලේ විතරයි..
සුමිත්ව අපේ දැඩි සත්කාර ඒකකයට (ICU) ගේනකොට තත්ත්වය ඉතාම නරකයි. ඔහුගේ ඇස් ගිනි රතු පාට වෙලා තිබුණා, ඒක රෝගයේ පැහැදිලි ලක්ෂණයක්. 🏩
අපට ඩයලිසිස් පහසුකම් තිබුණේ නැහැ.. ඔහුගේ වකුගඩු තරමක් දුරට හානි වෙලා තිබ්බත් (AKI) ඩයලයිසිස් කරන්න අවශ්‍ය තරමකට දරුණු වෙලා තිබ්බේ නෑ..
අපි ඔහුගේ වකුගඩු ආබාධය (AKI) හොඳින් කළමනාකරණය කළා.. මුත්‍රා බටයක් දාලා, පිටවන සෑම බිඳුවක්ම නිරීක්ෂණය කරමින්, ප්‍රවේශමෙන් දියර වර්ග ලබා දුන්නා. 💧
සුමිත්ගේ වකුගඩු යථා තත්ත්වයට පත් වේමින් තිබුනේ.. ඔහු ඉක්මනින් සුව වෙයි කියලා තමා අපි බලාපොරොත්තුවෙන් හිටියේ.. 🌈
නමුත් මී උණ(Leptospirosis) රෝගය හරිම රැවටිලිකාරයි.. සුමිත්ගේ වකුගඩු සුව වෙමින් තිබුනු වෙලාවේ, විෂබීජය නිහඬව ඔහුගේ හදවතට පහර දුන්නා... ඒක දරුණු Myocarditis (හෘද පේශිවල ආසාදනය) තත්ත්වයක්... ❤️🔥
එකපාරටම මොනිටරයේ අනතුරු ඇඟවීම් නාද වුණා... ඔහුගේ හදවතේ ස්පන්දනය ඇනහිටියා... 💔 අපි විනාඩි 45ක් පුරා CPR (හෘද-පෙනහළු ප්රත්යජීවනය) සිද්ද කළා... ඒ සොල්දාදුවාගේ ශක්තිමත් පපුව තෙරපමින් හදවත නැවත පණගන්වන්නට උපරිම උත්සහයක් දුන්නා.. නමුත් හෘද පේශිය ඊට ප්‍රතිචාර දක්වන්න බැරි තරමට දුර්වල වෙලා ඉදිමිලා තිබුණා... අවසානයේ පුංචි දරුපවුලක් තනිකරලා, ඔහු එතැනම මිය ගියා... 😞
මම මේ කතාව ඔබට කියන්නේ ඇයි?
ඒ සොල්දාදුවාට මී උණ ආසාදනය වුණේ මඩ පිරුණු තෙත් තණකොළ යායකින්... ගංවතුරෙන් පස්සේ මිනිස්සු ඔක්කෝම එකාට එකා උදව් කරගෙන ගංවතුරෙන් අපිරිසිදු වුනු මඩ, අපද්‍රව්‍ය සහ කැඩුණු දේවල් මැදින් ගමන් කරලා ගෙවල් සුද්ද කරන්න යන්නේ...
ඔහු මුහුණ දුන් අවදානමට වඩා සිය ගුණයකින් වැඩි අවදානමක් දැන් ඔබට තියෙනවා... නිරෝගී සොල්දාදුවෙක් මරා දැමූ මේ රෝගය, ඕනෑම කෙනෙක්ට මාරාන්තික වෙන්න පුළුවන්..
ඒ නිසා, රබර් අත්වැසුම් / boots පාවිච්චි කරන්න..
අනිවාර්යයෙන්ම ආරක්ෂක පෙති (Prophylaxis) ගන්න...
ගංවතුරෙන් / නාය යෑම් වලින් අපිට වටින ජීවිත හුඟක් නැති වුනා.. තවත් එක මනුස්සයෙක්වත් නිස්කාරණේ මැරෙන්න ඕන නැහැ.. ඒ නිසා හොඳට පරිස්සම් වෙලා මේ ව්‍යසනයෙන් ගොඩ එමු.. 🙏🏻
-මී උණ (Leptospirosis)- 🐀
ආසාදිත මීයන්ගේ මුත්‍රා සමඟ මෙම බැක්ටීරියාව පරිසරයට එකතු වෙන්න පුලුවන්.
මිනිසුන්ට රෝගය බෝ වෙන්නේ කොහොමද?
>ගංවතුර සමඟ එන අපවිත්‍ර ජලයට / මඩ වලට නිරාවරණය වීමෙන්. මෙම ජලය සහ මඩ සමඟ ඉතාමත් ලේසියෙන් මීයන්ගේ මුත්‍රා මිශ්‍ර වෙලා තියෙන්න පුලුවන්.
>මෙම බැක්ටීරියාව අපේ ඇඟේ තියන තුවාල / සීරීම් වගේ තැන් වලින්, ඇස් වලින් සහ නහයෙන් ඇතුල් වෙන්න පුලුවන්. ඒ වගේම මේ අප ජලය පානය කළොත්, ඒකෙනුත් අපට ලෙඩේ බෝවෙන්න අවදානම තියනවා..
රෝග ලක්ෂන මොනවාද?
>උණ
>අධික හිසරදය
>මාංශපේෂි කැක්කුම
>ඇස් රතු පැහැ වීම
>වමනය/ඔක්කාරය/බඩඑලිය
>ඇස් සහ ඇඟ කහ පැහැ වීම
>මුත්‍රා පිටවීම අඩු වීම
දරුණු සංකුලතා මොනවාද?
>වකුගඩු අක්‍රීය වීම් - ඩයලයිසිස් ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්
>පෙනහළු වල ලේ ගැලීම
>අක්මාව අක්‍රීය වීම
>මෙනින්ජයිටිස්
>හදවත ආසාදනය වීම
>ශරීරයේ අවයව අක්‍රීය වීම් (Multi-organ failure)
රෝගය වළක්වා ගන්නේ කොහොමද?
>ආරක්ශිත උපකරණ පැළඳිම - Rubber boots / Gloves
>තුවාල ආවරණය කර ගැනීම - Water proof plasters පාවිච්චි කරන්න
>ගෙවල් පිරිසිදු කිරීම කළ වහාම මුහුණ / අතපය හොඳින් සබන් පාවිච්චි කරලා සෝදා ගන්න
>බීමට උණුකර නිවාගත් ජලය පාවිච්චි කරන්න
>කැළි කසල (විශේශයෙන් ආහාර අපද්‍රව්‍යය නිසි පරිදි බැහැර කරන්න
රෝගය වළක්වා ගැනීමට බෙහෙත් / Prophylaxis?
>Doxycycline 200mg (Two capsules of 100mg)
සතියකට එක් වරක් පාවිච්චි කළ යුතුයි (ඔබ ගංවතුර අපද්‍රව්‍යය වලට නිරාවරණය වන කාළයේදී)
>ගර්භණී අම්මලාට / වයස 12ට අඩු ළමුන්ට / ආසාද්මිකතා තියන අයට මේ බෙහෙත සුදුසු නෑ. අනිත් ඕනම කෙනෙක්ට ගන්න පුලුවන්.
>MOH එකෙන් නැත්තන් ළඟම වෛද්‍යය මධ්‍යස්ථානයෙන් බෙහෙත් ලබා ගන්න පුලුවන්
ඔබට ජය..
✍️ Eshan Themiya